අද (අගෝස්තු 06) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම වාර්තාගත ලෙස රු. බිලියන 12 සීමාව ඉක්මවා ගොස් තිබේ.
දිනයේ ගනුදෙනු අවසානයේදී රු. බිලියන 12.23ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති අතර, එය රු. බිලියන 12.3ක පිරිවැටුමක් සටහන් වූ 2026 ජනවාරි 08 දිනට පසු වාර්තා වූ ඉහළම දෛනික පිරිවැටුම වේ. මීට පෙර ඊයේ (05) දිනයේදී ද රු. බිලියන 8 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
මෙම වාර්තාගත පිරිවැටුමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය අද දින හුවමාරු වීමයි. ගිවිසා ගනු ලැබූ ගනුදෙනු හරහා කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 89.78ක් හුවමාරු වී ඇති අතර, ඒ හරහා රු. බිලියන 9.02ක පිරිවැටුමක් වාර්තා විය. සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා තවත් රු. මිලියන 351ක පිරිවැටුමක් එකතු වීමත් සමඟ, කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් හරහා පමණක් වාර්තා වූ සමස්ත පිරිවැටුම රු. බිලියන 9.37කි.
ඈවර කිරීමට යටත්ව පවතින ප්‍රධාන කොටස්කරුවකු වූ “Group Lease Holdings PTE Ltd” සමාගම විසින් තමන් සතුව තිබූ කොමර්ෂල් ක්‍රෙඩිට් සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 29.99%ක හිමිකාරීත්වය මෙලෙස අලෙවි කර ඇති අතර, එම කොටස් මෙරට දේශීය ආයෝජකයින් කිහිප දෙනෙකු විසින් මිලදී ගෙන ඇත. මීට අමතරව, යුනයිටඩ් මෝටර්ස් සමාගමෙන් රු. බිලියන 1.02ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක්ද වාර්තා වී තිබේ.
දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 102.73කින් ඉහළ ගොස් ඒකක 21,269.67ක් ලෙස සටහන් විය.














