පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ප්‍රධාන රෝහලක (පාකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනයේ) මාතෘ වාට්ටුවේ තෙවැනි මහලේ හදිසියේ හටගත් ගින්නකින් දින කිහිපයක් වයසැති අලුත උපන් බිලිඳුන් 14 දෙනෙකු පිළිස්සී මියගොස් තිබේ. රෝහලේ හටගත් මෙම ගින්නත් සමඟ තම දරුවන් බේරාගැනීමට උපකාර ඉල්ලා හඬා වැටුණද, සහන කණ්ඩායම් පැමිණීමට පැය ගණනාවක් ප්‍රමාද වූ බව ශෝකයට පත් මව්පියන් බලධාරීන්ට දොස් නගමින් පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මව්පියන් සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කර ඇත්තේ පැය දෙකකට වැඩි කාලයක් තමන් උපකාර ඉල්ලා හඬා වැටුණද, සහන කණ්ඩායම් පැමිණීම අතිශයින් ප්‍රමාද වූ බවත්, පොලිසිය පැමිණියේ පැය හතරකට පමණ පසු බවත්ය. වායු සමීකරණ යන්ත්‍රයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට පාකිස්ථාන බලධාරීන් ප්‍රකාශ කළද, සහන සේවා ප්‍රමාද වූ බවට නැගෙන චෝදනා ඔවුහු ප්‍රතික්ෂේප කරති. මීට අමතරව, අලුත උපන් දරුවන්ගේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු වීමට වෙනත් මාර්ගයක් නොමැති වූ තැන ජනතාවට රෝහලේ වීදුරු ජනේල කඩා දැමීමට පවා සිදුවී ඇති අතර, ගින්න පැතිර යන අවස්ථාවේ ඇතැම් දොරවල් වසා අගුළු දමා තිබූ බවත් ආරක්ෂක නිලධාරීන් ජනතාව පිටතට යාම වැළැක්වූ බවත් වාර්තා වේ.
මෙම ඛේදවාචකයෙන් සිය අලුත උපන් දරුවන් අහිමි වූ මව්පියන් මේ වන විට බලධාරීන්ට එරෙහිව දැඩි ලෙස යුක්තිය ඉල්ලමින් හඬ නගමින් සිටිති.
















