පාකිස්තානයේ විදේශ ජාතික ආරක්ෂක බළකාය විසින් එරට සිටින ඇෆ්ගනිස්තාන ජාතිකයන් අත්අඩංගුවට ගැනීමේ සහ පිටුවහල් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිල වාර්තාවලට අනුව පන්ජාබ් ප්‍රාන්තයෙන් පමණක් ඇෆ්ගන් ජාතිකයන් 1,40,468 දෙනෙකු මේ වන විටත් රටින් පිටුවහල් කර තිබේ. දශක ගණනාවක් තිස්සේ පාකිස්තානයේ විවිධ පළාත්වල ජීවත් වූ ඇෆ්ගන් පවුල් ඇතුළු පුද්ගලයන් මිලියන 2.68 ක් පමණ මේ වන විටත් මෙලෙස පිටුවහල් කර ඇති අතර, මෙම තත්ත්වය කෙරෙහි ජාත්‍යන්තරයේ ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොමැති බව ද එම වාර්තා පෙන්වා දෙයි.
මෙලෙස පිටුවහල් කරනු ලබන පිරිස අතර හිටපු ඇෆ්ගන් හමුදා සෙබළුන් ද සිටින අතර, පසුගියදා ඇෆ්ගන් හමුදා සෙබළුන් දෙදෙනෙකු සිය පිටුවහල් කිරීමට එරෙහිව ඉදිරිපත් කළ දේශපාලන රැකවරණ ඉල්ලුම්පත පෙෂාවර් මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. නැවත ඇෆ්ගනිස්තානයට යැවීමෙන් සිය ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වන බැවින් වීසා කාලය දීර්ඝ කරන ලෙස එමගින් ඉල්ලා තිබුණි.
කෙසේවෙතත්, තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තහවුරු කිරීමට අසමත් වීම හේතුවෙන් පෙෂාවර් මහාධිකරණය විසින් අදාළ පෙත්සම තදින්ම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
















