යේමනයේ හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියට එල්ල කරන ප්‍රහාර පාලනය කරන ලෙස ඉරානයට පාකිස්තානය විසින් අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව සෞදි, පාකිස්තාන සහ ඉරාන ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. හූති සටන්කාමීන් විසින් මෑතකදී සෞදි අරාබියේ Khamis Mushait ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරකට සහ තෙල් යටිතල පහසුකම් වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 73 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස සෞදි ගුවන් හමුදාව යේමනයේ ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාර 54ක් එල්ල කර තිබේ.
සෞදි අරාබිය සහ තුර්කිය සමඟ පාකිස්තානයට පවතින ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් මෙම තත්ත්වය දැඩි ආසියානු අවධානයට ලක්ව තිබේ. සෞදි භූමියට එල්ල වන ප්‍රහාරයක් හමුවේ සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය සම්බන්ධ කරගත් ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය Khawaja Asif පෙන්වා දී ඇති අතර, යම් හමුදාමය මැදිහත්වීමක් සිදු වුවහොත් එය සෞදි භූමිය ආරක්ෂා කිරීම සඳහා පමණක් සීමා වන බවද බලධාරීන් අවධාරණය කර ඇත.














