පානදුර වෙරළ තීරයේ ‘බ්ලූ බොට්ල්’ (Physalia / Blue bottle) ලෙස හඳුන්වන ජෙලිෆිෂ් විශේෂයක් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මහජනතාවට ආරක්ෂිත උපදෙස් ද නිකුත් කර තිබේ.
පානදුර නගර සභාව විසින් කරන ලද දැනුම්දීමකට අනුව නාරා ආයතනයේ නිලධාරීන් වෙරළ තීරය වෙත ගොස් නිරීක්ෂණ කටයුතු සිදු කර ඇත. ඊයේ දිනයේදී මෙම ජෙලිෆිෂ් විශේෂයේ විෂ ශරීරගත වීමෙන් මුහුදේ නෑගිය පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදී ඇති අතර, මෙම සතුන්ගේ විෂ සහිත දෂ්ට කිරීම් හේතුවෙන් අධික වේදනාවක්, අසාත්මිකතා සහ ශ්වසන අපහසුතා ඇති විය හැකි බැවින් එම වෙරළ තීරයේ මුහුදට බැසීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස නාරා ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














