පානදුර වෙරළ තීරයේ දිය නෑමට ගොස් ප්‍රබල දිය වැළකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු, එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) බේරාගෙන තිබේ. අනතුරින් ජීවිතය බේරාගෙන ඇත්තේ කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.වෙරළට පැමිණ දිය නාමින් සිටියදී එකවරම මතු වූ දිය වැළකට හසුව ඔහු නොපෙනී ගොස් ඇති අතර, ඒ සමඟම ඔහු බේරාගැනීම සඳහා ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇත. මෙම මෙහෙයුම සඳහා පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිමල්සිරි, පොලිස් සැරයන් (50342) ඥානරත්න සහ පොලිස් කොස්තාපල් (33628) ලක්මාල් යන නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා මුහුදේ ගසාගෙන යමින් සිටි පුද්ගලයා නිරුපද්‍රිතව වෙරළට රැගෙන ඒමට සමත්ව ඇත. වෙරළට රැගෙන ආ පුද්ගලයාට පොලිස් නිලධාරීන් විසින් මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව, සුවය ලැබූ ඔහු සිය ඥාතීන් වෙත භාරදීමට පියවර ගත් බව පානදුර පොලිසිය පවසයි.















