27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව මාර්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පවසයි.

ඒ ඊයේ (16) පස්වරුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස් වු අවස්ථාවේදිය.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 21 වැනි අගහරුවාදා ‍පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ අංක 2208/13 දරන ගැසට් පත්‍රයේ පළකර ඇති රීති විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබේ.

ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමට නියමිතව ඇත. එසේම 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද අංක 2313/47 දරන ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග ද එදින විවාදයට ගැනීමට නියමිත බවද වැඩබලන මහලේකම්වරයා පැවසීය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා, ආණ්ඩුව විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

මාර්තු 22 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් ද්විත්වයක්, 2021 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ යෝජනා සම්මතයන් 6 ක් සහ රේගු ආඥා පනත යටතේ අංක 2312/75 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති තීරුබදු සම්බන්ධයෙන් වන යෝජනා සම්මතය විවාද කිරීමෙන් පසු අනුමත කර ගැනීමට නියමිතව තිබේ.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

මාර්තු 23 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ අංක 2308/08 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය සහ 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ 2310/30 ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතව බව ද වැඩබලන මහලේකම්වරයා පැවසීය.

අනතුරුව රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා ත්‍රිත්වයක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත. තවද පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් වන ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය සහ ශෛලී අධ්‍යාපනික පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් ද්විත්වය දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමටද මෙහිදී එකගත්වය පළවී තිබේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා, විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

මාර්තු 24 වන සිකුරාදා වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සිවුදෙනෙකු සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ලැරීන් පෙරේරා මහත්මිය, රෙජිනෝල්ඩ් කුරේ මහතා, බුද්ධික කුරුකුලරත්න මහතා සහ මුතු සිවලිංගම් මහතා සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන්කර තිබේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *