2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ, ශ්‍රී ලංකා රජය සහ මාලදිවයින් රජය අතර 2025 ජූලි මාසයේ අත්සන් කරන ලද ගිවිසුමට අදාළ නියමය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනුමත විය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්විය. 2026 ජනවාරි 05 දිනැති අංක 2470/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නියමය, මැයි 19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
මෙම ගිවිසුම මගින් ත්‍රස්තවාදී අපරාධ, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අපරාධයකින් උත්පාදිත දේ සොයා ගැනීම, තහනම් කිරීම, අහිමි කිරීම හෝ රාජසන්තක කිරීම ඇතුළු අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම යන ක්ෂේත්‍රවලදී දෙරට අතර අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව වඩාත් ශක්තිමත් කෙරේ.
මෙහිදී අධිකරණ ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිළිබඳවද අවධානය යොමු වූ අතර, 2018 වසරේ සිට බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් පවතින පුරප්පාඩු 2647 ක ප්‍රමාණය කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. තවද, අධිකරණ, බන්ධනාගාර සහ නීති ක්ෂේත්‍රයට අදාළ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ගැටලු සඳහා විසඳුම් ලබා දීමටද පියවර ගෙන ඇත. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















