පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙරට ප්‍රමුඛතම රාජ්‍ය විශ්වවිද්‍යාලයකි. ඒ සඳහා මහජන බදු මුදලින් රුපියල් බිලියන ගණනක් වාර්ෂිකව වැය කරනු ලැබේ. මෙම මහජන මුදල් උපරිම ඵලදායීතාවයෙන් ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමේ යාන්ත්‍රණයක් ඇතත්, එයද ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. අප එසේ කියන්නේ වර්ෂ ගණනාවක සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය අංශභාග තත්ත්වයෙන් දුවන හෙයිනි. මෙම අංශභාග තත්ත්වයට හේතුවක් වී ඇත්තේ පරිපාලනයේ වැදගත් ස්ථාන රාශියක් වසර ගණනාවක් පුරා වැඩබලන පදනමින් පවත්වාගෙන යාමය. පාලකයන් සාමාන්‍යයෙන් වැඩබලන්නන් හෝ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නන් සමග වැඩ කිරීමට කැමතිය. එයට හේතුව වැඩබලන්නාගේ පත්වීම රඳා පවතින්නේ පාලකයාගේ කැමැත්ත ඇතිතාක් පමණක් වන නිසා වැඩ බලන නිලධාරීන් පාලනය කර ගැනීම පහසු බැවිනි. එහෙත් ස්ථීර නිලධාරියෙක් තරමට අනම්‍ය තීරණ ගැනීමට වැඩබලන්නන්ට නොහැකි නිසා සහ තවත් සීමාසහිතකම් හේතුවෙන් එවැනි පත් කිරීම් හරහා ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව පහළ බසී. පරිපාලනයේ තනතුරු රාශියක් වැඩබලන්නන් නම් එහි ප්‍රතිඵලය අමුතුවෙන් කිවයුතු නැත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධානතම පරිපාලන නිලධාරියා වන ලේඛකාධිකාරී තනතුර සඳහා දශකයකට වැඩි කාලයක සිට ස්ථීර ලේඛකාධිකාරීවරයෙක් නැත. 2014 වර්ෂයේදී දූෂණ චෝදනා මත නිශ්ශංක ජයවර්ධන ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තනතුරට බඳවා ගත් දොඩංගොඩ මහතාද මාස කිහිපයක් තුළ සිය ඉල්ලා අස්වීම භාරදී ඇත. ඉන් අනතුරුව අවසන් වරට ස්ථීර ලේඛකාධිකාරීවරයෙක් පත් වන්නේ 2020 වසරේදීය. ඒ සමන් රාජපක්ෂ මහතාය. විනය කටයුත්තක් හේතුවෙන් නීතියට පටහැනිව ඔහු ගෙදර යැවීමට කටයුතු කිරීම නිසා 2021 සිට මේ දක්වාම එකී තනතුර පවතින්නේ වැඩබලන පදනමිනි.
විශ්වවිද්‍යාලයේ නඩත්තු කටයුතු සඳහා අත්‍යාවශ්‍ය සේවාවක් සිදුකරන වැඩ ඉංජිනේරු තනතුර වසර දෙකකට ආසන්න කාලයක් පවතින්නේද වැඩ බලන සහ පැවරුම් පදනමිනි. ව්‍යාපෘති කළමනාකාර තනතුරද වසර ගණනාවක් පවත්වාගෙන යන්නේ පැවරුම් පදනමිනි. උද්‍යාන පාලක තනතුරු දෙකින් එකක් හිස්ය; අනෙක් උද්‍යාන පාලක තනතුර වසර කිහිපයක් පුරා කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන යයි. විශ්වවිද්‍යාලයේ සමස්ත ආරක්ෂාව 2023 වසරේ සිට ක්‍රියාත්මක වන්නේද වැඩ බලන සහ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් පුද්ගලයන් මාර්ගයෙනි. මෙහි මහජන සම්බන්ධතා නිලධාරී නමින් ස්ථාපිත තනතුරක් නැත. එහෙත් වැඩ බලන මහජන සම්බන්ධතා නිලධාරීවරයෙක් නම් ඇත. පේරාදෙණිය මේ තරමින්වත් දුවනවා ඇති නේද?














