රජයේ විගණකාධිපති වෙනුවෙන් විගණන අධිකාරී අයි. ජී. ඩබ්. ආර්. සිසිර කුමාර 2022 මැයි මස 04 වන දිනැතිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති අමතමින් විගණන විමසුමක් ඉදිරිපත් කර ඇත. අංක කේඩීඒ/ඩී/පීයූ/2022/13 දරන මෙම විගණන විමසුම මගින් ප්‍රශ්න කර තිබුණේ, ‘පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා නැවත සේවයේ පිහිටුවීම සහ හිඟ වැටුප් ගෙවීම’ පිළිබඳවය.
මෙම විගණන විමසුමෙහි 06 වන ඡේදය මෙසේය:
”මූලික පරීක්ෂණ කමිටුව, විශ්වවිද්‍යාලයේ නීති අංශය සහ පාලක සභාව විසින්, විත්ති පාර්ශ්වයේ මූලික විරෝධතාවයන් කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකර සේවය අවසන් කිරීම හේතුවෙන් මෙම වැටුප් හා දීමනා ගෙවීමට සිදුව තිබූ බවත්, තීරණ ගැනීමේදී නොසැලකිලිමත් හා විචක්ෂණශීලීතාවයෙන් තොරව කටයුතු කර තිබූ බවත්, එසේ සේවා ලබා ගැනීමකින් තොරව ගෙවන ලද රුපියල් 5,569,572.78ක මුදල ඊට වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අය කරගත යුතු බවත් විගණනයේදී නිරීක්ෂණය වේ.”
මෙම විගණන විමසුමෙහි විගණන නිලධාරියා විසින් අදාළ නිෂ්කාර්ය වැයට වගකිවයුතු නිලධාරීන් කවුරුන්දැයි නිසි ලෙස හඳුනාගෙන තිබුණි. එම පාර්ශ්වයන් නම් ”මූලික පරීක්ෂණ කමිටුව, විශ්වවිද්‍යාලයේ නීති අංශය සහ පාලක සභාව” යන තුන්කට්ටුවයි.
මූලික පරීක්ෂණ කමිටුව වගකිවයුත්තේ ඇයි?
මෙම සිදුවීමේදී ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාට එරෙහිව පවත්වා තිබෙන විනය පරීක්ෂණය සඳහා මුල් අවස්ථාවේදී පත්කර තිබුණේ, රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියෙකු වන සුදත් ගුණසේකර මහතාවය. මූලික විමර්ශනය සිදු කරගෙන යාමේදී විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් සහ පැමිණිලිකාර පාර්ශ්වයන්ගෙන් සිදුව තිබෙන බලපෑම් හේතුවෙන් අදාළ විමර්ශනය ස්වාධීනව සිදු කිරීමට නොහැකි වීම නිසා, ගුණසේකර මහතා එම විමර්ශන කටයුත්තෙන් ඉල්ලා අස්වී තිබේ. ස්වාභාවික යුක්තියේ මූලධර්මයවත් නොදන්නා බව පෙනෙන මෙම අපූරු ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව පත්කර තිබෙන්නේ ඉන් පසුවය.
“ස්වාභාවික යුක්තියේ මූලධර්මය” ලෙස සැලකෙන්නේ “දෙපැත්තටම කන් දෙනු – තම නඩුව තමා නොඅසනු” යන්නයි. අන් සාමාජිකයන් දෙදෙනා කෙසේ වෙතත්, විමර්ශන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ ලාල් විජේනායකද, එහි කැඳවුම්කාරිය ලෙස නිල වශයෙන්ම පත්කර තිබූ නීති නිලධාරී රසිකා වික්‍රමසිංහද මෙම මූලික කරුණ නොදැන සිටීමට හේතුවක් නැත. (එසේ නොදැන සිටියත් නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බවට වන ස්ථාවරයක් නීතියේම පවතී.)
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2015-09-30 වන දින ත්‍රිපුද්ගල කමිටුව හමුවට ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා කැඳවන ලද අවස්ථාවේදී, ඔහු කමිටු සාමාජික මහාචාර්ය ආර්. එල්. විජේවීර සම්බන්ධයෙන් මූලික විරෝධයක් මතු කිරීමට පදනම් කරගෙන ඇත්තේ, විජේවීර මහතා පැමිණිලිකාර ආචාර්ය සංගමයේ සාමාජිකයෙකුව සිටීමයි.
– මතු සම්බන්ධයි














