පසුගිය අගෝස්තු 05 වන දින පැවැති කෝප් කමිටු රැස්වීමේදී රට ඉදිරියේ හෙලිදරව් වූ පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂවරයා වෙත බොරු වෛද්‍ය සහතික ලබාදී තිබෙන්නේ විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා රත්නායක විසිනි.
ශ‍්‍රී ලංකා යුධ හමුදාවෙන් සක‍්‍රීය සේවයට නුසුදුසුවීමේ හේතුව මත වෛද්‍ය මණ්ඩලයක් මගින් විශ‍්‍රාම ගැන්වීමට නියම කරන ලද එච්.එම්.ඒ.එම්. කපිලරත්න නැමැත්තා නැවත රාජ්‍ය සේවයට බදවා ගැනීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වන බවට ඇය විසින් සහතික කර තිබෙන බව කෝප් කමිටුව හමුවේ ප‍්‍රකාශ කරන ලද්දේ උපකුලපති මධුජිත් විසින්මය.
ඒ අනුව 50%ක පූර්ණ ආබාධිතයෙකු බවට තීරණය කළ කපිලරත්න, චන්දිමා රත්නායක සතුව තිබෙන කිසියම් හාස්කම් බලයකින් නැවත යථා තත්ත්වයට පත්කර තිබෙන බව පෙනී යයි. එය සත්‍ය නම් අදාල පුද්ගලයා නැවත සක‍්‍රීය සේවයට කැදවා ඔහුගේ සේවය ලබාගැනීමට ශ‍්‍රී ලංකා යුධ හමුදාවට හැකියාව ඇත. මන්ද ඔහුට මේ වන විටත් යුධ හමුදාවෙන් පූර්ණ වැටුප් ගෙවමින් තිබෙන බැවිනි.
එසේම මෙම අපූරු හාස්කම් කිරීමේ හැකියාව තිබෙන වෛද්‍ය චන්දිමා රත්නායකට ජනාධිපති සම්මානයක් හෝ දේශබන්ධු දේශපුත‍්‍ර වැනි වෙනත් සම්මානයක් ලබාදීමෙන් නොනැවතී ඇයට ජාතික අක්‍ෂි රෝහල වැනි ස්ථානයක් භාරදී මෙම අගනා කර්තව්‍ය ජාතික මට්ටමෙන් වඩාත් පුළුල් ලෙස සිදුකරගෙන යාමට අනුග‍්‍රහ සැලසිය යුතු වන බවද රජයට යෝජනා කර සිටීමට අප කැමතිය.
සිය වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවකයන් නිවසේ කටයුතු සදහා යොදාගැනීම, ගිලන් රථය සිය පෞද්ගලික ගමන් බිමන් සදහා භාවිතා කිරීම ආදී විෂමාචාරයන් ගණනාවක් සම්බන්ධයෙන් මෙම තැනැත්තියට එරෙහිව මේ වන විටත් විනය පරීක්‍ෂණයක් පැවැත්වෙමින් ඇත. උපකුලපති මධුජිත්ගේ පූර්ණ අනුග‍්‍රහය මත වැඩ තහනමකට ලක් නොවී විනය පරීක්‍ෂණයකට මුහුණදෙන ඇය තවමත් කිසිදු බියක් නොමැතිව එලිපිටම විශ්වවිද්‍යාල ගිලන් රථය සිය පෞද්ගලික ගමන් බිමන් සදහා භාවිතා කරන බව එය ඇසින් දුටු සේවකයෝ පවසති. ”උපකුලපති පුටුවේ මධුජිත් සිටිනා තුරු තමන්ගේ මයිල් ගහක් හොලවන්නට කිසිවෙකුට බැරි බව” කියමින් සේවකයන් ඉදිරියේ පුරසාරම් දෙඩවීමටද ඇය කටයුතු කරන බව සෞඛ්‍ය මධ්‍යස්ථාන සේවකයෝ පවසති.
මෙම විකාර සහගත පරිපාලනය නිසා තමන්ටද ”තනි ඇහැට ඇඩෙන” තත්ත්වයක් ඇතිවී තිබෙන බව බහුතරයක් විශ්වවිද්‍යාල සේවකයෝ පවසති.














