පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන එච්.එම්.මහින්ද හේරත් එම විශ්වවිද්‍යාලයේම තවත් මහාචාර්යවරු දෙදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහිව සහ බාහිර පුද්ගලයෙකුද ඇතුලත් පිරිසකට එරෙහිව තමන්ගේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් සිදුකරන ලද ද්වේශ සහගත කටයුතු හේතුවෙන් සිදුව ඇති හානියට රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලා ඉල්ලා සිටිමින් මහනුවර දිස්ත‍්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් ගොනු කර තිබේ.
මෙම නඩු කටයුත්ත සම්පූර්ණයෙන්ම අදාල විත්තිකරුවන්ට එරෙහි පෞද්ගලික නඩු කටයුත්තක් වන අතර එමගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෝ එහි පාලනාධිකාරිය විත්තිකරුවන් ලෙස නම් කරමින් වන්දි ඉල්ලා සිට නැත.එම නිසා පැමිණිලිකාර මහින්ද හේරත් මෙන්ම අදාල විත්තිකරුවන්ද මෙම නඩු කටයුත්ත සදහා පෙනී සිටිය යුත්තේ ඔවුන්ගේ පෞද්ගලික තත්ත්වයෙනි.
මෙම නඩුවට අදාලව මේ වන විට දිස්ත‍්‍රික් අධිකරණය විසින් අදාල විත්තිකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක්ද පනවා ඇති අතර නඩුව විභාගයට ගැනෙමින් ඇත.
එසේ තිබියදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු පාලක සභාව මෙම විත්තිකරුවන් සදහා නීතීඥ සහාය පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ලබාදීමට පසුගිය මැයි මාසයේ පැවැති පාලක සභා වාරයේදී තීරණය කර ඇත.
විශ්වවිද්‍යාලයේ සේවකයන් දෙපාර්ශ්වයක් අතර වන පෞද්ගලික නඩු කටයුතු වලදී එක් පාර්ශ්වයක් සදහා පමණක් මහජන බදු මුදලින් ගෙවීම් කරමින් නීතීඥ සහාය ලබාදීම මගින් රජයේ ආයතනයක් වන විශ්වවිද්‍යාලය මහජන මුදල් අවභාවිතයකට ඉඩ සලසා තිබෙන බවට විශ්වවිද්‍යාල ප‍්‍රජාව වෙතින් විවේචන එල්ල වෙමින් තිබේ.
එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කල් තබාම විත්තිකරුවන්ගේ පැත්ත ගැනීම මගින් රාජ්‍ය ආයතනයක් සතු විය යුතු මැදිහත් බව සහ අපක්‍ෂපාතී බව බිද දමා ඇති බවත් එම විශ්වවිද්‍යාලයේම තවත් නිලධාරියෙකු වන පැමිණිලිකාර මහාචාර්යවරයාට අගතියක් සිදුකර තිබෙන බවත් විවේචකයන්ගේ අදහසයි.
















