පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයේ සේවය කල වික‍්‍රමගේ ස්වර්ණා රම්‍යලතා සහ අළුත්වල හේවගේ චලනි ශ්‍යාමිකා රාමනායකද සිල්වා යන දෙදෙනා 2022-10-11 දිනැතිව එම අංශයේ ආරක්‍ෂක පරීක්‍ෂකවරයෙකු ලෙස කටයුතු කරන ලලිත් වීරසිංහ නැමැති අයගෙන් තමන්ට සිදුවූ ලිංගික අතවර සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් දිවුරුම් ප‍්‍රකාශ දෙකක් මගින් ප‍්‍රකාශ කර ඉදිරිපත් කර තිබේ.
මෙම දිවුරුම් ප‍්‍රකාශ පදනම් කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිංගික සහ ස්ත‍්‍රී පුරුෂ භාවය මත පදනම්වන ප‍්‍රචණ්ඩත්වය පිළිබද කමිටුව මැදිහත් වීමෙන් ලලිත් වීරසිංහ නැමැත්තාට එරෙහිව විනය පරීක්‍ෂණයක් ආරම්භ කෙරිණි.මෙකී විනය පරීක්‍ෂණයට යටත්ව අදාල පුද්ගලයා දොඩගොල්ල කෘෂි පර්යේෂණ ඒකකය වෙත ස්ථාන මාරු කිරීමද සිදුකරනු ලැබුවේ වින්දිත කාන්තාවන්ට සහ සාක්‍ෂිකරුවන්ට ඔහුගෙන් සිදුවිය හැකි බලපෑම සලකමිනි.
විනය පරීක්‍ෂණ කමිටුවේ සභාපති ලෙස මහාචාර්ය ටී.කුඩාගම්මන කටයුතු කල අතර සම්මානිත මහාචාර්ය කමලා ලියනගේ සහ ආචාර්ය කුමාරි තෝරදෙණිය අනෙකුත් සාමාජිකයන් විය.2023-03-08 වන දින උපකුලපතිවරයා වෙත භාරදී ඇති මෙහි වාර්තාව මගින් අදාල කාන්තාවන් දෙදෙනාට බලපෑම් සිදුව තිබෙන බවට ඔවුන් කියා සිටින කරුණු විශ්වාස කටයුතු බව පිළිගෙන තිබේ.
අදාල විද්වත් කමිටුව සිය වාර්ථාවේ තුන්වන පිටුවේ තුන්වන ඡේදයේ චූදිත ලලිත් වීරසිංහ සම්බන්ධයෙන් සටහන් කර ඇත්තේ මෙලෙසිනි.
“වෘත්තීයමය වශයෙන් කාන්තා නිලධාරීන් සමඟ වැඩ කිරීමට සහ ඔහුගේ එදිනෙදා නිල කාර්යයන් යම් ප්‍රමාණයකට ඉටු කිරීමට වීරසිංහ මහතාට අපහසු බව කමිටුව සොයා ගත්තේය. එපමණක් නොව රැකියා ස්ථානයේ සමාන තත්ත්වයකින් යුත් කාන්තා සගයන් කෙරෙහි අසාමාන්‍ය ආකර්ෂණයක් ඇති පුද්ගලයෙකු ලෙස ඔහු පෙනෙන බව පෙනී ගියේය”
(කමිටු වාර්ථාව ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියා ඇති අතර සිංහල පරිවර්තනය අපගේය)
කාන්තාවන්ට අතවර කරන පුද්ගලයන් එම කටයුතු සිදුකරන්නේ රහසිගතව සහ කිසිවෙකුට නොපෙනෙන ලෙස වින්දිත කාන්තාව තනිව සිටින වේලාවක් බලාය.එම නිසා මෙවැනි සිද්ධීන්වලදී තෙවැනි පාර්ශ්ව සාක්‍ෂි සොයාගැනීම ඉතා අපහසුය.ඇරැත් මේ වන විට හෙලිදරව් වී තිබෙන පරිදි අදාල සැකකරුගේ සගයන් ඔහුට අනුබල ලබාදෙමින් කටයුතු කරන විට එය තවත් දුෂ්කර වේ.
මෙම තත්ත්වය මනා ලෙස හදුනාගෙන ඇති විද්වත් කමිටුව සිය පරීක්‍ෂණ වාර්ථාවේ නිර්දේශ කර සිටින්නේ “චෝදනාවට ලක්වූ අපරාධකරුට එරෙහිව මූලික සාක්ෂි කමිටුව සොයා ගත්තද විධිමත් පරීක්ෂණයක් නිර්දේශ නොකරන බවය.”
විද්වත් කමිටු නිර්දේශය එම අවස්ථාවට අනුකූලව ඉතාම නිවැරදි සහ දුර දක්නා බවින් යුතුය.විධිමත් පරීක්‍ෂණයකදී සිදුවන්නේ පරීක්‍ෂණ කමිටුව හමුවට ඉදිරිපත් වන සාක්‍ෂි වල වැඩි බර මත චූදිතයා වැරදිකරු හෝ නිවැරදිකරු බව තීරණය කිරීමය.වින්දිත කාන්තාවන්ට පක්‍ෂව තෙවැනි පාර්ශ්ව සාක්‍ෂි කිසිවක් නොමැති අවස්ථාවක සහ චූදිතයාට සිය සගයන්ගේ සහාය ලැබෙන අවස්ථාවක විධිමත් පරීක්‍ෂණයක් කැදවීම නීතියේ සිදුරෙන් රිංගා චූදිතයාට නිදහස් වීමට ඉඩ හසර විවර කිරීමකි.
ඒ අනුව විද්වත් පරීක්‍ෂණ කමිටුව නිර්දේශ කර ඇත්තේ චූදිත ලලිත් වීරසිංහට තරවටු කිරීමක් ලබාදීමට සහ විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය සදහා SGBV ප‍්‍රතිපත්තීන් පිළිබදව දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වීමටය.
එහෙත් “එකගෙයි කෑම”ද සදාචාරයට පටහැනි ක‍්‍රියාවක් නොවන බව විශ්වාස කරමින් එය අනුගමනය කල එකල සිටි එක්තරා ඉහල බලධාරීයෙකු මෙම විද්වත් කමිටු නිර්දේශයන් කුණු කූඩයට දමමින් ඒක පාර්ශ්වවිකව තීරණය කර ඇත්තේ චූදිත ලලිත් වීරසිංහට චෝදනා පත‍්‍රයක් ලබාදී විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමටය.
මෙම විධිමත් පරීක්‍ෂණය පවත්වා චූදිතයා නිදොස් කොට නිදහස් කල කැකිල්ලේ කථාව හෙවත් වින්දිත කාන්තාවන් දෙවැනි වරටත් අපහරණය කිරීමේ සිදුවීම ඉතිරි කොටස්වලින් බලාපොරොත්තු වන්න.
– මතු සම්බන්ධයි
















