එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තියට අනුකූලව
ශ්‍රී ලංකාවේ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වය (SGBV) ආමන්ත්‍රණය කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්ති රාමුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලැබේ.
මෙම වැඩසටහනට අදාලව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුලද, සියලු විශ්වවිද්‍යාලයන් තුලද ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිලිබද කමිටු (SGBVC) පිහිටුවා ඇත.මෙම කමිටු මගින් එක් එක් විශ්වවිද්‍යාලයයන් සදහා ප්‍රතිපත්ති රාමු ද සකසා සම්මත කර තිබේ.ඊට අනුකූලව සාකච්ඡා සම්මන්ත්‍රණ සහ වැඩමුළු රාශියක් ද පවත්වා තිබෙන අතර තවදුරටත් පැවැත්වෙනවාද ඇත.
එහෙත් විශ්වවිද්‍යාලයයන් තුල අහිංසක කාන්තාවන් අතවරයට ලක් වීමත් එම බලහත්කාරයට එරෙහි වූ විට දරුණු පලිගැනීමට ලක් වීමත් නොකඩවා සිදුවෙමින් තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක නිලධාරි වරියක ලෙස කටයුතු කල රම්‍යලතා ගේ කතාව ඊට හොද නිදසුනකි.
රම්‍යලතා ඇහැට කණට පෙනෙන කාන්තාවකි. රැකියාව පිණිස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයට බැදෙන ඇය පසුපසින් එහි ආරක්‍ෂක පරීක්ෂකවරයෙකු වන ලලිත් වීරසිංහ නැමැත්තා එන්නට පටන් ගන්නේ ඔහු තවත් බොහෝ කාන්තාවන් සමග සිදුකල අනියම් ලිංගික සෙල්ලම කරන්නටය. චරිතවත් කාන්තාවක් වූ රම්‍යලතා එම පහත් ක්‍රියාවට විරෝධය පෑමෙන් නොනැවතී ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරින්ට පැමිණිලි කිරීමට ද කටයුතු කරයි.
ඒ අනුව පේරාදෙණිය SGBV කමිටුව මැදිහත්ව පරීක්ෂණයක්ද සිදුකර අදාල අතවරකරු දොඩංගොල්ල ගොවිපළ වෙත ස්ථාන මාරු කිරීම සිදුකරයි.ඒ අතර බල හුවමාරුවක් සිදුවේ.නව උපකුලපති වරයෙක් පත්වූ වහාම ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී තනතුරේ වැඩ බැලූ යෙනුක පහලගේ යන නිලධාරියාගේ අනුග්‍රහය මත මෙම අපචාර කරු නැවතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත කැදවන අතර “නරින්ට කුකුල්ලු භාරදුන්නා සේ ” රම්‍යලතා ඇතුලු කාන්තා ආරක්ෂක නිලධාරීන් අධීක්ෂණය කිරීමේ කටයුතුද ඔහුට භාරදේ.ඉන් පසුව මෙම අවකෙළි බිය සැක නැතිව එලිපිට සිදුවේ.අපචාර කරුගේ (පාප)මිත්‍රයන් දෙදෙනෙකු වන සුබසිංහ සහ කුමාරසිංහ යන අය විසින් රම්‍යලතාට බලපැම් එල්ල කර ඇත්තේ “මූදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැති බැවින් ලලිත් වීරසිංහ ගේ අවශ්‍යතා ඉටු කරන ලෙසයි.
රම්‍යලතා එයට අකමැති වූ තැන සුභසිංහ යන අයගේ සෘජු මැදිහත් වීමෙන් 2026 ජනවාරි මස සිට රම්‍යලතා රැකියාවෙන් නෙරපා හැර තිබේ.අතවරකරුවන ලලිත් වීරසිංහ සියලු වරප්‍රසාද සමග මේ වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ රැකියාවේ නිරත වන නමුත් අසරණ කාන්තාව රැකියාව නොමැතිව මාස ගනනක් ගෙදරය.
එපමණක් නොවේ මෙම අතවර නඩුවට අදාලව අධිකරණය වෙත යාමට රාජකාරීයේ යෙදී සිටින අතර ඔහුට අවසර ලැබෙන අතර ලිංගික අතවර නඩුවට ඇප බැදීම සදහා රාජකාරියේ නිරත ආරක්‍ෂක නිලධාරීන්ද යොදවා තිබුනේ නීතියට සරදම් කරමිනි. ලලිත් වීරසිංහ නැමැත්තාගේ පහත් ආශාවන්ට ඉඩ දුන්නානම් රම්‍යලතාට තවමත් රස්සාව තිබේ.අපට පේරාදෙණියේ මෙන්ම UGC යේත් පිහිටුවා ඇති SGBV කමිටුවල ගරු කටයුතු මහත්ම මහත්මීන් ගෙන් අසන්නට තිබෙන්නේ කරුණු කාරණා සිදුවන්නේ මෙසේ නම් “කුමට මෙරට SGBV කමිටු” යනුවෙන්ය.
















