පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආරක්ෂක අධ්යක්ෂ ලෙසට පත්කර සිටි විශ්රාමික මේජර් එච්.එම්.එච්.ඒ.කපිලරත්න යන අයගේ සේවය අවසන් කර ඔහු ගෙදර යැවීමට විශ්වවිද්යාල පාලනාධිකාරිය කටයුතු කර තිබෙන බව අප වෙත වාර්ථා වේ.
පසුගිය අගෝස්තු 05 සහ 19 දිනවල පැවැති කෝප් කමිටු රැස්වීම්වාරවලදී ආරක්ෂක අධ්යක්ෂගේ මෙම පත්කිරීම බරපතල ලෙස ප්රශ්නකිරීමකට ලක්ව තිබුන අතර එහිදී හෙලිදරව් වූයේ අනුමත බදවා ගැනීමේ පටිපාටියකින් (SOR) හෝ රජයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ (MSD) සහ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ (UGC) අනුමැතියකින් තොරව මෙම පත්කිරීම සිදුකර රුපියල් මිලියන ගණනක වැටුප් ගෙවා තිබෙන බවය.
එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබුනේ විශ්රාමික මේජර් එච්.එම්.එච්.ඒ.කපිලරත්න යන පුද්ගලයා අබාධිත තත්ත්වයක් මත යුධ හමුදා සේවය නුසුදුසු වීම හේතුවෙන් හමුදා සේවයෙන් විශ්රාම ගැන්වූ අයෙකු වන බවත්, ඔහුට මේ වන විටත් සක්රීය සේවයේ යෙදී සිටින්නෙකු ලෙසට සලකා යුධ හමුදාව මගින් පූර්ණ වැටුප් හා දීමනා ගෙවමින් තිබෙන බවත්ය. පේරාදෙණිය විශ්වවිද්යාලය විසින් එහි ප්රධාන වෛද්ය නිලධාරී වරිය වන චන්දිමා රත්නායක මගින් අදාල පුද්ගලයා රජයේ සේවයට සුදුසු බවට ව්යාජ වෛද්ය වාර්ථාවක් ලබාගෙන මෙම පත්කිරීම සිදුකර තිබුන බවද කෝප් කමිටුවේදී හෙලිදරව් වී තිබුණි.
රජයේ සේවයට නුසුදුසු තැනැත්තෙකු ව්යාජ වෛද්ය පරීක්ෂණයක් මත නැවත සේවයට බදවා ගැනීමත් ඔහුට මහජන මුදලින් වැටුප් දෙකක් ලබාගැනීමට ඉඩ සැලසීමත් සම්බන්ධයෙන් බරපතල ප්රශ්නකාරී තත්ත්වයක් උද්ගතව තිබුන අතර මෙයට කිසිසේත් එකග විය නොහැකි බව කියා සිටි කෝප් සභාපතිවරයා මාස තුනක් ඇතුලතදී මෙම ගැටළුව නිරාකරණය කරන මෙන් විශ්වවිද්යාල පරිපාලනයට නියෝග කලේය.
ඒ අනුව 2026 ඔක්තෝම්බර් 15 වන දින සිට අදාල තැනැත්තාගේ සේවය අවසන් කිරීමට විශ්වවිද්යාල පාලනාධිකාරීය කටයුතු කර තිබෙන බව අප වෙත වාර්ථා වේ.
කෙසේ වෙතත් මේ වන විට නීති විරෝධී බවට තහවුරු වී තිබෙන මෙම පත්කිරීම මගින් රජයේ මුදල් මිලියන ගණනක් මේ වන විටත් කාබාසිනියා කර හමාරය.අප විසින් මීට පෙර හෙලිදරව් කර ඇති පරිදි එයට එරෙහිව මේ වන විටත් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙන බැවින් කපිලරත්න ගෙදර යවා අත පිසදා ගැනීමට පේරාදෙණිය බලධාරීන්ට නොහැකි වනු ඇත.
මෙම නීති විරෝධී පත්කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධාණය යොමු වීමට බොහෝ කලකට පෙර TTV NEWS විසින් මේ සම්බන්ධයෙන් සවිස්තර හෙලිදරව්කිරීම් මාලාවක් සිදුකර තිබුන අතර පේරාදෙණිය විශ්වවිද්යාලයේ දුෂණ වංචා සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද තවත් හෙලිදරව්වක් මෙසේ ඵලදැරීම, මෙරට නීතියේ විධානයේ ආධිපත්යය පවත්වාගැනීම සදහා මාධ්ය ආයතනයක් ලෙසට අපගේ දායකත්වය දැක්වීමට ලැබුන අනගි අවස්ථාවක් ලෙසද අප විසින් සලකනු ලැබේ.















