මතුගම ආනන්ද ශාස්ත්රාලය ජාතික පාසලේ ක්රිකට් ක්රීඩාවේ අනාගත සංවර්ධනය සඳහා මූල්ය ශක්තියක් එක් කිරීමේ අරමුණින් සංවිධානය කරන **ශාස්ත්රාලීයන් ප්රිමියර් ලීග් (SPL) 2026** තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 18 වැනිදා පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතය.
ආදි ශාස්ත්රාලයීය ක්රිකට් සමාජය විසින් විදුහල් කළමනාකාරීත්වයේ සහයෝගයෙන් සංවිධානය කරන මෙම පන්දුවාර 10 ක්රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් එක්වන අතර, එම කණ්ඩායම් සියල්ලම ව්යාපාරික ප්රජාව විසින් මිලදී ගෙන අවසන් බව සංවිධායකයෝ පවසති.
තරගාවලියට සහභාගි වීම සඳහා ක්රීඩකයන් 143 දෙනකු ලියාපදිංචි වී සිටින අතර, වෙන්දේසියේදී එක් කණ්ඩායමකට ක්රීඩකයන් 16 දෙනකු දක්වා තෝරාගැනීමට අවස්ථාව හිමි වේ.
මතුගම ප්රදේශයේ අනෙකුත් පාසල්වල ක්රිකට් ක්රීඩා කළ ක්රීඩකයන්ට ද ආරාධිත ක්රීඩකයන් ලෙස එක්වීමට අවස්ථාව සලසා තිබීම විශේෂත්වයකි. එමෙන්ම ආනන්ද ශාස්ත්රාලයේ වත්මන් ක්රිකට් ක්රීඩකයන් දෙදෙනකු සෑම කණ්ඩායමකටම ඇතුළත් කරගැනීම අනිවාර්ය කර තිබේ. මෙහි අරමුණ වන්නේ පාසලේ තරුණ ක්රීඩකයන්ට පළපුරුදු ක්රීඩකයන් සමඟ ක්රීඩා කරමින් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසීමයි.
තරගාවලිය නොවැම්බර් 7, 8 සහ 15 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සමස්ත තරග සංඛ්යාව 16කි. වර්ෂාව හේතුවෙන් තරග පැවැත්වීමට බාධා ඇති වුවහොත් නොවැම්බර් 16 වැනිදා අතිරේක දිනයක් ලෙස වෙන් කර ඇත. තරගවලදී ‘ඉම්පැක්ට් ක්රීඩකයකු’ යොදාගැනීමට ද කණ්ඩායම්වලට අවස්ථාව හිමි වේ.
‘ඒ’ කාණ්ඩයට JSD Challengers, Jagath Express, Liveka Power Lions සහ Rexhill Warriors ඇතුළත් වන අතර, ‘බී’ කාණ්ඩයට JPI Royals, Five Star Heroes, Marine Titans සහ Finnk Falcons ඇතුළත් වෙයි.
මෙම තරගාවලියේ ප්රධාන අරමුණ වන්නේ ආදි සිසුන්ගේ සහ ව්යාපාරික ප්රජාවේ දායකත්වය ඔස්සේ ආනන්ද ශාස්ත්රාලයේ ක්රිකට් ක්රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යෑමටත්, එහි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්ය මූල්ය පදනම ශක්තිමත් කිරීමටත් දායක වීමයි.















