පේරු රාජ්‍යයේ පැවති අතිශය තියුණු ජනාධිපතිවරණ තරගයෙන් පසුව, දක්ෂිණාංශික අපේක්ෂිකා කේකෝ ෆුජිමෝරි ජයග්‍රාහිකාව ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය ජූනි 07 වන දින පැවති දෙවන වටයේ ඡන්ද විමසීමේදී කේකෝ ෆුජිමෝරි 50.135%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, ඇයගේ ප්‍රතිවාදියා වූ වාමාංශික අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස් 49.865%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. මෙම ජයග්‍රහණය සිදුව ඇත්තේ ඡන්ද 50,000කටත් වඩා අඩු පරතරයකිනි.
සිය පියා වන හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ දේශපාලන උරුමය ද සමඟින් දේශපාලනයට පිවිසි 51 හැවිරිදි කේකෝ ෆුජිමෝරි මෙවර සිය මැතිවරණ වේදිකාවේදී මූලික වශයෙන් අවධාරණය කළේ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා දැඩි පියවර ගන්නා බවයි. ඇය මෙම ජනාධිපති ධුරය භාර ගන්නේ විශාල වගකීමකින් සහ නිහතමානීව බව පවසා ඇති අතර, එළඹෙන ජූලි 28 වන දින ඇයගේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත්, රොබර්ටෝ සැන්චෙස් මෙම ඡන්ද ප්‍රතිඵලය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර, ඡන්ද විමසීමේදී අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් එය අවලංගු කරන ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔහුගේ පක්ෂය කටයුතු කරමින් සිටී.
පේරු රාජ්‍යයේ පසුගිය දශකයක කාලය තුළ පත්වන නවවන ජනාධිපතිවරයා ලෙස කේකෝ ෆුජිමෝරි ඉතිහාසයට එක්වන අතර, මෙම ජයග්‍රහණය ලතින් ඇමරිකානු දේශපාලනය තුළ දක්ෂිණාංශික දේශපාලන ප්‍රවණතාවක් ශක්තිමත් කිරීමට හේතු වී ඇත.
















