පේරු රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අවසාන අදියරට පැමිණ ඇති අතර, වාමාංශික කොංග්‍රස් සභික රොබර්ටෝ සැන්චෙස් (Roberto Sanchez) දෙවන වටයේ තීරණාත්මක සටනකට (Run-off) පිවිසීමේ වැඩි ඉඩකඩක් පවතින බව බදාදා නිකුත් වූ නවතම දත්ත පෙන්වා දෙයි. ඡන්ද 91%කට වඩා ගණන් කර අවසන් වන විට, සැන්චෙස් 12.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සිය ප්‍රතිවාදී අපේක්ෂක රෆායෙල් ලොපෙස් අලියාගා (11.9%) ඉතා සුළු වෙනසකින් පරාජයට පත් කරමිනි.
කොන්සර්වේටිව් අපේක්ෂක කේකෝ ෆුජිමෝරි (Keiko Fujimori) 17%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දැනටමත් පෙරමුණේ පසුවන අතර, ඇය ජුනි 07 වනදා පැවැත්වීමට නියමිත දෙවන වටයේ ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටී. වාමාංශික සැන්චෙස් සහ දක්ෂිණාංශික ෆුජිමෝරි අතර මෙලෙස දෙවන වටයේදී සටනක් ඇති වීමේ ප්‍රවණතාව හමුවේ එරට මූල්‍ය වෙළඳපොළ තුළ යම් නොසන්සුන්තාවයක් ද හටගෙන ඇත. ඇතැම් අපේක්ෂකයින් ඡන්ද වංචා පිළිබඳව චෝදනා නැඟුවද, යුරෝපා සංගම් නිරීක්ෂකයින් ප්‍රකාශ කර ඇත්තේ එවැනි වංචාවන් සඳහා සාක්ෂි හමු නොවූ බවයි.














