දකුණු පේරු රාජ්‍යයේ නස්කා කාන්තාරයේ පිහිටි ලෝක ප්‍රකට සංචාරක ගමනාන්තයක් වන නස්කා රේඛා කලාපයේදී සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. පෙරේදා සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ නස්කා රේඛා නැරඹීමට ගිය සංචාරකයන් 11 දෙනා සහ නියමුවන් දෙදෙනා ඇතුළු පිරිසකි.
පේරු රාජ්‍යයේ ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මියගිය අය අතර ඉතාලි ජාතිකයන් 7 දෙනකු, ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනකු සහ ජර්මානු ජාතිකයන් දෙදෙනකු වන බවය. අනතුර සිදුවීමත් සමඟ යානය සම්පූර්ණයෙන්ම ගිනිබත් වී ඇත. යුනෙස්කෝ ලෝක උරුමයක් වන නස්කා රේඛා නැරැඹීම සඳහා වාර්ෂිකව මිලියන 4කට අධික සංචාරකයන් පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණෙති.
















