අද (17) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ PET EXPO 2026 ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ සුරතල් සතුන් ඇති කිරීම අපේ සංස්කෘතියේ කොටසක් වුවද, වීදි සතුන්ගේ ජීවිත සුරැකීම සැමගේ වගකීමක් බවයි.
ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේදී වීදි සතුන් වෙනුවෙන් වෙන් කළ ආලෝකා කුටිය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරිය, වීදි බලු පැටවෙකු නව හිමිකරුවෙකු වෙත භාර දෙමින් එම කුටියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කළාය.
අග්‍රාමාත්‍යවරිය විසින් පන්සල් වැනි පොදු ස්ථානවල සුනඛ සහ බළල් පැටවුන් දමායාම වැරදි පුරුද්දක් බව පවසමින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියාය. එමෙන්ම සත්ව සුභසාධනය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමට හැකිවීම හරහා සතුන්ගේ ජීවිත යහපත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කිරීමට රජයට හැකියාව ලැබෙන බවද ඇය පැවසුවාය. සතුන් සමඟ ජීවත්වීම තුළින් දරුවන් තුළ සහකම්පනය, ආදරය සහ කරුණාව වැනි උතුම් ගුණාංග වර්ධනය වන බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
















