පිටකොටුව බස් නැවතුම්පොළේදී මගියෙකුගේ බෑගයක් සොරකම් කළ සැකකරුවෙකු, නව මෙහෙයුම් මැදිරියේ CCTV නිරීක්ෂණ පද්ධතිය ඔස්සේ ක්ෂණිකව හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සමත්ව තිබේ.
ඊයේ (23) දින සිදු වූ මෙම සොරකම CCTV කැමරා පද්ධතිය ඔස්සේ සජීවීව නිරීක්ෂණය වෙමින් තිබියදී හඳුනාගෙන ඇති අතර, ඒ සමඟම ක්‍රියාත්මක වූ රාජකාරියේ නිරත ගුවන් හමුදා සාමාජිකයන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය පියවර සඳහා පොලිසිය වෙත භාර දී ඇත. නවීකරණය කරන ලද පිටකොටුව බස් නැවතුම්පොළේ ස්ථාපිත නව මෙහෙයුම් මැදිරිය හරහා ආරක්ෂක නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුවන අතර, සොරකම් සහ වෙනත් අපරාධ හඳුනාගැනීමට අමතරව, මගියෙකු හදිසි අසනීප තත්ත්වයකට පත්වීම හෝ අනතුරකට ලක්වීම වැනි අවස්ථාවන්හිදී වහාම සහන සැලසීමද මෙහිදී සිදුකෙරේ.
















