ලන්ඩන් නුවර පැවැත්වෙන 43 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් මණ්ඩලයේ (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්හි මහලේකම් ෂර්ලි අයෝර්කෝර් බොච්වේ (Shirley Ayorkor Botchwey) මහත්මිය ඊයේ (21) ලන්ඩන් නුවර මාල්බරෝ මන්දිරයේදී (Marlborough House) හමුවී විශේෂ සාකච්ඡාවලට එක්විය. එහිදී අග්‍රාමාත්‍යවරිය පොදුරාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ පවත්වන සක්‍රීය සබඳතා අගය කළ අතර, එහි අදාළත්වය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මහලේකම්වරිය ලබාදෙන නායකත්වය ද පැසසුමට ලක් කළාය.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාමුව තුළ අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ පොදු ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු වූ මෙම සාකච්ඡාවේදී දේශගුණික විපර්යාස, දේශගුණික මූල්‍යකරණය (Climate Finance), ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මෙන්ම කාන්තා දේශපාලන නියෝජනය සහ සාමාජික රටවල් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනුණි. ඇතුළත් පාලනය, තිරසාර සංවර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම අගමැතිනිය මෙහිදී අවධාරණය කළ අතර, මැතිවරණ පාලනය සහ තාක්ෂණික සහාය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශ්‍රී ලංකාවට තවදුරටත් උපරිම සහය ලබාදීමට සූදානම් බව මහලේකම්වරිය යළිත් සහතික කළාය. මෙම නිල හමුව සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද අග්‍රාමාත්‍යවරිය සමඟ එක්ව සිටියහ.














