රටක ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව අත්‍යවශ්‍ය සාධකයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. වත්මන් ලෝකයේ මතුව ඇති දේශපාලනික හා ආර්ථික අර්බුද හමුවේ කෘෂිකර්මාන්තය දැඩි අභියෝගවලට ලක්ව ඇති බැවින්, රටේ ස්ථාවරත්වය උදෙසා මෙම ක්ෂේත්‍රය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු බව ඇය පෙන්වා දෙයි. බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැති “සැප්” (SAPP) ජාතික තරුණ කෘෂි – ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
කොවිඩ් වසංගතය සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණයන් උදාහරණ ලෙස පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ගෝලීය සැපයුම් දාමයන් අවහිර වන ඕනෑම අවස්ථාවක රටක දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත්ව තිබීම අත්‍යවශ්‍ය බව පැවසුවාය. නායකයින් ගන්නා වැරදි හෝ සුළු තීරණයක් මගින් පවා ජනතාවගේ ආහාර සැපයුමට බාධා එල්ල විය හැකි බවත්, එවැනි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම ජාතික ආරක්ෂාවට කෙරෙන සෘජු මැදිහත්වීමක් බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
දේශගුණික විපර්යාස හමුවේ කෘෂි ව්‍යවසායකයින් මුහුණ දෙන අවදානම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. පාරිසරික තත්ත්වයන් පුරෝකථනය කිරීම අසීරු කාලවකවානුවක තරුණ ව්‍යවසායකයින් කෘෂිකර්මාන්තය සඳහා යොමු වීම හුදෙක් ලාභ ඉපයීමක් පමණක් නොව, එය දේශප්‍රේමී මෙහෙවරක් බව අග්‍රාමාත්‍යවරිය පවසයි. “Grow and Sell” වැනි නව්‍ය සංකල්ප ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයට දායක වන තරුණ ප්‍රජාව රටේ ඉදිරි ගමනට මහඟු ශක්තියක් බව ඇය මෙහිදී අගය කළාය.












