අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ නම, ඡායාරූප, හඬ සහ වීඩියෝ දර්ශන සූක්ෂ්ම ලෙස භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ව්‍යාජ සහ නොමඟ යවන සුලු පුවත් (Fake News) පිළිබඳව වහාම අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය (PMD) සමස්ත මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ.
අද (27) දහවල් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, මෙරට ප්‍රමුඛ පෙළේ නිල ජාතික මාධ්‍ය ආයතන සහ ප්‍රසිද්ධ පුවත් වෙබ් අඩවිවල නිල ලෝගෝ (Unauthorized Logos) හොර රහසේ භාවිත කරමින් මෙම සංවිධානාත්මක කල්ලි විසින් ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් සිටින බවයි.
විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI – Artificial Intelligence) ඇතුළු නවීන ඩිජිටල් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගනිමින්, අග්‍රාමාත්‍යවරිය කිසියම් මතයක් ප්‍රකාශ කරන ආකාරයේ ව්‍යාජ ලෙස සකස් කළ වීඩියෝ (Deepfakes) සහ ඇයගේ ඡායාරූප ඇතුළත් කළ පෝස්ට් රැසක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. මේ හරහා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය, නව රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ වැට් ඇතුළු බදු ප්‍රතිපත්ති (Tax Policies) සම්බන්ධයෙන් රජය අපහසුතාවයට පත්වන ආකාරයේ අසත්‍ය මෙන්ම ජනතාව නොමඟ යවන සුලු ප්‍රකාශ ප්‍රචාරය කරමින් පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
තාක්ෂණය අවභාවිත කරමින්, අග්‍රාමාත්‍යවරියගේ කීර්ති නාමයට මෙන්ම වත්මන් රජයේ ප්‍රතිපත්තිවලට හානි වන පරිදි මෙවැනි ද්වේෂසහගත ව්‍යාජ පුවත් නිර්මාණය කරන, ඒවා සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදාහරින (Share) සහ ප්‍රචාරය කරන සියලුම පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දැඩි ලෙස අවධාරණය කර සිටියි. එබැවින් ඩිජිටල් අවකාශය පරිහරණය කිරීමේදී වඩාත් විමසිලිමත් වන ලෙසත්, මෙවැනි ව්‍යාජ AI පුවත්වලට නොරැවටෙන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














