කළුතර දිස්ත්‍රික්කයේ පොකුණුවිට හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තැපැල් සේවාවක් සැලසීම අරමුණු කරගනිමින්, රුපියල් මිලියන 14.7ක වියදමින් ඉදිකරන ලද පොකුණුවිට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා සේවයට විවෘත කෙරිණි.
පොකුණුවිට ප්‍රදේශයේ ජනතාවට වඩාත් විධිමත් හා පහසු තැපැල් සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත මෙම නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2025 නොවැම්බර් 30 දින ආරම්භ කරන ලද අතර, 2025 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන යටතේ ඉදිකිරීම් අවසන් කර ජනතා සේවයට එක් කරන ලද 11වන තැපැල් කාර්යාලය මෙය වේ. හොරණ නගරයේ පවතින තදබදය අවම කිරීමේ අරමුණින් පොකුණුවිට ප්‍රදේශය හොරණ නගරයට අනුබද්ධ උප නගරයක් ලෙස ක්‍රමානුකූලව සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළුව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
















