මුදල් ගෙවීම් පූර්ණ ලෙස ඩිජිටල්කරණය කිරීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ පැවතුණද, හදිසි අර්බුදකාරී අවස්ථාවලදී භෞතික මුදල් (Physical Currency) අත්‍යවශ්‍ය විය හැකි බව පෝලන්ත රජය සහ මධ්‍යම බැංකු පෙන්වා දෙයි. පෝලන්ත මුදල් අමාත්‍ය ඇන්ඩ්‍රෙජ් ඩොමන්ස්කි (Andrzej Domański) මෑතකදී අදහස් දක්වමින් කියා සිටියේ විදුලි බිඳවැටීම්, සයිබර් ප්‍රහාර හෝ ගෙවීම් පද්ධති අක්‍රිය වීම් වැනි ඩිජිටල් අර්බුද හමුවේ යම් මුදල් ප්‍රමාණයක් ළඟ තබා ගැනීම වැදගත් බවයි.
මෙම සාකච්ඡාවට මූලික හේතුව වී ඇත්තේ එස්තෝනියානු මධ්‍යම බැංකුව වැනි ආයතන විසින් තම පුරවැසියන්ට අවම වශයෙන් සතියක දෛනික වියදම් සඳහා සෑහෙන මුදල් ප්‍රමාණයක් නිවසේ සුරක්ෂිතව තබා ගන්නා ලෙස කළ නිර්දේශයයි. මූල්‍ය යටිතල පහසුකම්වලට බාධාවක් ඇති වූ විට භාවිත කළ හැකි එකම මාධ්‍යය භෞතික මුදල් නෝට්ටු සහ කාසි විය හැකි බව විද්වතුන් පෙන්වා දෙති. පෝලන්ත සමාජය දැනටමත් ඔවුන්ගේ ඉතිරි කිරීම්වලින් සැලකිය යුතු කොටසක් මුදල් ලෙස ළඟ තබා ගැනීමට හුරු වී ඇති බැවින් ඔවුන්ට ඒ පිළිබඳ විශේෂ උපදෙස් අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















