පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුබෝවිල අවිශ්ක නැමැත්තාගේ මෙරට ජාලය මෙහෙයවූ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. රට තුළ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව දියත් කරනු ලබන මෙහෙයුම්වල තවත් සුවිශේෂී ප්‍රගතියක් සනිටුහන් කරමින් මෙම වැටලීම සිදු කර ඇත.
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 10ක ප්‍රමාණයක් සහ හෙරොයින් ග්‍රෑම් 504ක් සමඟින් විද්‍යුත් තරාදි සහ රබර් සීල් ඇතුළු ජාවාරමට සම්බන්ධ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මෙම මත්ද්‍රව්‍ය ජාලය තුළ ප්‍රධාන සැපයුම්කරු ලෙස කටයුතු කළ මෙම පුද්ගලයාගේ අත්අඩංගට පත්වීම හරහා රට තුළ ක්‍රියාත්මක වන පුළුල් අපරාධ ජාලයේ තවත් රහස් රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇති අතර, ඉදිරි විමර්ශන හරහා මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් ජාලගත සාමාජිකයන් සහ මූල්‍ය මූලාශ්‍ර පිළිබඳව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වනු ඇත. මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන මෙම දැඩි නීතිමය ක්‍රියාමාර්ග මඟින් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජාලයන්ට එල්ල වී ඇති බලපෑම තවදුරටත් තීව්‍ර වනු ඇත.














