27 April 2024
#දේශීය

නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා ගත් නිළධාරීන් දෙදෙනකු පොලීස් අත්අඩංගුවට

නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා ගත් හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කුරුණෑගල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් තිදෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථිර සේවකයකු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ දැනටමත් නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථීර සේවයේ නියුතු සේවකයන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවයි. ඔවුන් සම්බන්ධයෙන් කලුතර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව මෙම සේවකයන් පිරිස චංචාකර ඇති මුදල රුපියල් ලක්ෂ 78කට අධිකය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ ඉදිරි විමර්ශණ අනුව මෙම මුදල තවත් වැඩිවිය හැකි බවයි.

අදාළ මුදල් වංචාවන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමඟම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් විමර්ශණ සිදුකර කඩිනමින් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *