සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලියන 6,000කට අධික වටිනාකමකින් යුත් දේපළ මේ වන විට තහනම් කිරීමට හැකි වී ඇති බව පොලිසිය පවසයි.
පසුගිය වසර දෙකක කාලය තුළ ක්‍රියාත්මක කරන ලද විමර්ශන 113ක් යටතේ මෙම දේපළ තහනම් කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 5,423ක්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 102 දෙනෙකුට අයත් වේ. මීට අමතරව, සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුට අයත් රුපියල් මිලියන 209ක දේපළ සහ පිරමීඩ වංචා, ළමා අපයෝජන මෙන්ම පුපුරණ ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ 8 දෙනෙකුගේ රුපියල් මිලියන 364ක දේපළ ද මේ අතර වන බව වාර්තා වේ.
මෙම අපරාධ ජාලය මැඩපැවැත්වීමේ මෙහෙයුම් යටතේ සැකකරුවන් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මහාධිකරණයේ නඩු 17ක් විභාග වෙමින් පවතී. එමෙන්ම, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රතු වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 28 දෙනෙකු සහ රතු නිවේදන නොමැති සැකකරුවන් 38 දෙනෙකු දිවයිනට ගෙනැවිත් නීතිය ක්‍රියාත්මක කර තිබේ. ජාත්‍යන්තර පොලිසිය හරහා මේ වන විට රතු නිවේදන 110ක් නිකුත් කර ඇති අතර, සැකකරුවන් 35 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, කැනඩාව සහ ඉතාලිය යන රටවල සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.














