අන්තරාදායක සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන පුද්ගලයින්ට එරෙහිව රථවාහන නීතිවලට අමතරව අපරාධ නීතිය යටතේද දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා පවසයි.
මෙරට වාහන සංචිතයෙන් බහුතරයක් යතුරුපැදි (51%) සහ ත්‍රිරෝද රථ (12%) වන අතර, ඒවා පදවන 18ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ රියදුරන් රථවාහන නීති හෝ පදික ජනතාව පිළිබඳ කිසිදු තැකීමකින් තොරව කටයුතු කිරීම මාර්ග අනතුරුවලට ප්‍රධානතම හේතුවයි.
පසුගිය වසරට සාපේක්ෂව මෙවර මාර්ග රිය අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව 100කින් වැඩි වී ඇති අතර, මාර්ග අනතුරුවල 99%ක වර්ධනයක් දක්නට ලැබේ. මින් බහුතරයක් පදිකයින් අනතුරුවලට ගොදුරු වේ.
අන්තරාදායක රිය ධාවන වැරදි සඳහා දඩ පත්‍රිකාවක් ලබාදීම වෙනුවට, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය දැඩි කිරීමට උපදෙස් ලබා දී ඇත. අන්තරාදායක ලෙස රිය පදවමින් සුදු ඉර කපාගෙන යාම වැනි වැරදි සඳහා තුන් වරක් අධිකරණයේදී වැරදිකරු වුවහොත් රියදුරු බලපත්‍රය අත්හිටුවීමට පියවර ගනු ඇත.
මාරක අනතුරු සිදුකරන රියදුරන්ට එරෙහිව මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, බරපතළ තුවාල සිදු කිරීම සහ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 272 වගන්තිය යටතේ අපරාධ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.
සමහර බස් රථ රියදුරන්ගේ ද මෙවැනි අපරික්ෂාකාරී හැසිරීම් වාර්තා වන අතර, ඔවුන් සම්බන්ධයෙන්ද ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















