කල්බදු සහ මූල්‍ය සමාගම් මඟින් වාහන හෝ උපකරණ අත්පත් කරගැනීමේ ක්‍රියාවලියේදී නීතිවිරෝධී ලෙස සහ බලහත්කාරයෙන් කටයුතු කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. බදු ගැණුම්කරුගේ විරෝධතාවක් පවතින අවස්ථාවකදී අදාළ දේපළ බලහත්කාරයෙන් රැගෙන යාම නීති විරෝධී වන අතර, එවැනි පසුබිමක් තුළ වාහන හෝ උපකරණ අත්පත් කරගත හැක්කේ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතට අනුකූලව දිසා අධිකරණයක නඩු පැවරීමෙන් පසුව පමණක් බව පොලිසිය පෙන්වා දෙයි.
මෙම ක්‍රමවේදය උල්ලංඝනය කරමින් සිදු කෙරෙන බලහත්කාරී අත්පත් කරගැනීම් සම්බන්ධයෙන් බදු ගැණුම්කරුවන් ඉදිරිපත් කරන පැමිණිලි විභාග කිරීමට සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් ලබා දී ඇති අතර, එහිදී විමර්ශනවලින් කොල්ලකෑම, සොරකම හෝ අයුතු ඇතුළුවීම වැනි අපරාධ වැරදි අනාවරණය වුවහොත් දැඩි නීතිමය පියවර ගන්නා බව දන්වා ඇත. පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටින අවස්ථාවලදී පොලිසිය මැදිහත් වන්නේ සාමය ආරක්ෂා කිරීමට පමණක් වන අතර, කිසිදු අවස්ථාවක වාහන අත්පත් කරගැනීමේ කාර්යය සඳහා පොලිස් නිලධාරීන් සෘජුව දායක නොවන බවත්, විශේෂයෙන්ම 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනත යටතේ ගැනෙන කුලී සින්නක්කර ගිවිසුම්වලට පොලිස් මැදිහත්වීමක් ලබාදීමට නෛතික ප්‍රතිපාදන නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මූල්‍ය හා කල්බදු ක්ෂේත්‍රයේ මතුව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ සමාගම් සහ පාරිභෝගිකයන් නීතිමය රාමුවට ගරු කරමින් සාමය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර, නීතිය අතට ගනිමින් සිදුකරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා පොලිසිය ගෙන ඇති මෙම දැඩි පියවර මඟින් මහජනතාවට සිදුවන අසාධාරණයන් මඟහරවා ගැනීමට මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ විධිමත් පාලනයක් තහවුරු කිරීමටත් මාවත විවර වනු ඇත.
















