27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාව සහ බහරේන් අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය අතථ්‍ය හමුවක් ලෙස ඊයේ (21) පැවැත්විණි.

දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ පොදු අවශ්‍යතා සම්බන්ධයෙන් වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින් යුත් දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම සඳහා 2009 වර්ෂයේ දී දෙරටම අත්සන් තැබූහ.

දෙරට අතර පවත්නා සබඳතා නව සහයෝගිතා සහිත අංශ ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව නියෝජිත පිරිස මෙහිදී සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාවේ දී දෙරටෙහි අන්‍යෝන්‍ය වාසි සඳහා වෙළෙඳාම, ආයෝජනය, මිනිස් බලය, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, නිපුණතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව යනාදී අංශ ඇතුළු අංශ කිහිපයක් හඳුනා ගන්නා ලදී. තවද, හඳුනාගත් අංශවල පවතින මෙවැනි සහයෝගීතා විධිමත් කිරීම සඳහා නව ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීමට මෙන්ම අත්සන් කළ ගිවිසුම් නැවත සලකා බැලීමට ද මෙම හමුවේ දී යෝජනා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය දුන් අතර, බහරේන් විදේශ කටයුතු අමාත්‍යංශයේ උප ලේකම් (දේශපාලන කටයුතු) ආචාර්ය ෂෙයික් අබ්දුල්ලා බින් අහමඩ් අලි කලීෆා සහභාගි විය‍.

 

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර දෙවන දේශපාලන උපදේශන සැසිය 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වීමට නියමිත ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *