බන්ධනාගාර අභ්‍යන්තරයේ මතුවිය හැකි හදිසි තත්ත්වයන් හමුවේ රාජ්‍ය ආයතන එකිනෙක සම්බන්ධ කරගනිමින් කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, පොළොන්නරුව බන්ධනාගාරය මුල් කරගත් නව ඒකාබද්ධ යාන්ත්‍රණයක් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) ස්ථාපිත කරනු ලැබීය. දිවයින පුරා පිහිටි සෑම බන්ධනාගාරයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම පුළුල් ආරක්ෂක හා සුබසාධන වැඩසටහන හරහා, හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණ දුර්වලතා මඟහරවා ගනිමින් වඩාත් කාර්යක්ෂම සහ ක්‍රියාශීලී ප්‍රතිචාර ක්‍රමවේදයක් සකස් කිරීම අපේක්ෂා කෙරේ.
මෙම විශේෂ රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා පොළොන්නරුව බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් එහි පවතින සැබෑ තත්ත්වයන් සහ රැඳවියන් මුහුණපාන ගැටලු පිළිබඳව සෘජුවම සොයා බැලූ අතර, පොළොන්නරුව බන්ධනාගාර අධිකාරී ඩබ්ලිව්.ඒ.ජේ. අරවින්ද, දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ත්‍රිවිධ හමුදා, ජල සම්පාදන මණ්ඩලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සඳහා එකතු වී සිටියහ. බන්ධනාගාර පද්ධතිය තුළ මතු විය හැකි අර්බුදකාරී වාතාවරණයන් කළමනාකරණය කරගැනීමට ආයතන අතර පවතින අන්තර්-ආයතනික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම නව ක්‍රමවේදයේ මූලික අරමුණ වී ඇති බවත්, එමඟින් රැඳවියන්ගේ මූලික මානව හිමිකම් සහ ආරක්ෂාව තවදුරටත් තහවුරු වන බවත් නිලධාරීහු පෙන්වා දෙති.
මෙම අන්තර්-ආයතනික යාන්ත්‍රණය රටේ සියලුම බන්ධනාගාර දක්වා ක්‍රමානුකූලව ව්‍යාප්ත කිරීමත් සමඟම, බන්ධනාගාර අභ්‍යන්තර ආරක්ෂාව මෙන්ම රැඳවි සුබසාධන කළමනාකරණය අතින් මෙරට අධිකරණ හා බන්ධනාගාර පද්ධතියට එය නව පෙරළියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනාගතයේදී මතුවිය හැකි හදිසි අවස්ථා සාර්ථකව පාලනය කරගැනීමටත්, රාජ්‍ය ආයතනවල සාමූහික දායකත්වයෙන් බන්ධනාගාර පද්ධතිය තුළ විනිවිදභාවයෙන් යුත් යහපත් පරිසරයක් නිර්මාණය කිරීමටත් මෙමඟින් ලැබෙන පිටුබලය අතිමහත්ය.














