ලියෝ XIV පාප් වහන්සේ (Pope Leo XIV) අප්‍රිකානු රටවල් හතරක සිදු කරන දස දින සංචාරයේ දැවැන්තම උත්සවය වන ශුද්ධ වූ දිව්‍ය පූජාව සඳහා කැමරූන් රාජ්‍යයේ ආර්ථික අගනුවර වන ඩුවාලා (Douala) නගරයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්රැස් වෙමින් සිටිති.
ඩුවාලා හි ජපෝමා (Japoma) ක්‍රීඩාංගණය අවට වීදිවල 600,000කට අධික බැතිමතුන් පිරිසක් පාප් වහන්සේගේ දේශනයට සවන් දීම සඳහා රැස්වනු ඇතැයි වතිකානය අපේක්ෂා කරයි. ඇතැම් පිරිස් පාප් වහන්සේ දැකබලා ගැනීම සඳහා පෙර දින රාත්‍රියේ සිටම ක්‍රීඩාංගණය තුළ රැඳී සිටි බව වාර්තා වේ.
ඇමෙරිකානු ජාතික පළමු පාප් වහන්සේ වන ලියෝ පාප් වහන්සේ, යුද්ධය සහ අසමානතාවය පිළිබඳව දැඩි ස්ථාවරයක සිටිමින් ලෝක නායකයන් විවේචනය කිරීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටිති. යුද්ධය සඳහා බිලියන ගණනින් මුදල් වැය කරන නායකයන්ව උන්වහන්සේ දැඩි ලෙස විවේචනය කරති.
කැමරූන් සංචාරය අතරතුර උන්වහන්සේ ප්‍රකාශ කළේ අතලොස්සක් වූ “අත්තනෝමතික පාලකයන්” (Tyrants) විසින් ලෝකය විනාශයට ඇද දමමින් සිටින බවයි. එමෙන්ම නව යටත්විජිතවාදී ලෝක බලවතුන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සහ බලවතුන්ගේ අභිමතය පරිදි ලෝක සාමය තර්ජනයට ලක්වීම පිළිබඳව ද උන්වහන්සේ සිය කනගාටුව පළ කළහ.
ඩුවාලා නගරයේ පැය හතරක පමණ කාලයක් ගත කරන පාප් වහන්සේ එහිදී කතෝලික රෝහලක් වෙත ද ගොස් රෝගීන්ගේ සුවදුක් විමසීමට නියමිතය. උන්වහන්සේගේ ආරක්ෂාව සඳහා නගරය පුරා දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇත.














