තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ පිරිසක් ආගිය අතක් නොමැතිව අතුරුදන් වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ කෝපා කමිටුව විසින් 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා තැපැල් දෙපාර්තමේන්තුවේ සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය සලකා බලන ලදී.
මෙහිදී අනාවරණය වූ පරිදි ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් වී නොමැති අතර, චෝදනා ලැබූ පුද්ගලයන් අතුරුදන් වීම, මියයෑම, නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම මෙන්ම විමර්ශන අංශයේ මානව සම්පත් හිඟයක් පවතී. මෙම මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී විමර්ශන කඩිනම් කරන ලෙසත්, නියමිත කාලසීමාවක් තුළ ඒවා අවසන් කරන ලෙසත් කාරක සභාව අදාළ ප්‍රධානීන්ට දැඩි ලෙස නියෝග කළේය. ඊට අමතරව, විමර්ශන අවසන් කර වගකිවයුතු පාර්ශ්වවලින් අලාභ අය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් ලබා දී ඇති අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ දැවැන්ත අවශ්‍යතාවක් පවතින බවද කෝපා කමිටුව මෙහිදී අවධාරණය කළේය.














