27 April 2024
#දේශීය

සමාජ සුබසාධන ව්‍යාපෘතියක් කිරීමට පෙර දරිද්‍රතා රේඛාව හරියට හඳුනාගන්න අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

අස්වැසුම වැඩසටහන ආරම්භ කිරීමට පෙර අප රට තුළ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගෙන දුප්පත් හා දුප්පත් නොවන අය හඳුනා ගෙන එය ක්‍රියාත්මක කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම කිසිදු විද්‍යාත්මක භාවයකින් තොරව පුද්ගලයන් ලක්ෂ 20ක් තෝරා ගෙන අප රටට ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් විවිධ වැඩසටහන් සඳහා ලබා දුන් මුදල් බෙදා හරින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ සෑම දෙයක්ම සිදු කර ඇත්තේ ප්‍රතිවිරුද්ධ දිශාවට බවත් මුලින් සිදු කළ යුතු දේවල් සිදු නොකර අස්වැසුම ක්‍රියාත්මක කිරීම නිසා විශාල පිරිසකට අවාසි සිදුව ඇති බවත් ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බවට දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට කයිවාරු ගැහුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවත් අස්වැසුම හොඳ වැඩසටහනක් වුවත් එම වැඩපිළිවෙළේ බරපතල ඌනතා ගැටලු ඇතිව තිබෙන බවත් අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් බාධා මධ්‍යයේ පාර්ලිමේන්තුව දැනුවත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමෘද්ධි සහනාධාරය ලබා දීමට පෙරත් දරිද්‍රතා රේඛාව ගණනය කළ යුතු බවත් දත්ත හා තොරතුරු නොමැතිව දුප්පත් මිනිසුන් තෝරා ගැනීමට අවස්ථාව ලබා දුන්නොත් වැරදි ආකාරයට එම වැඩසටහන වුව ක්‍රියාත්මක විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අප රට තුල ග්‍රාමීය නාගරික හා වතු යන අංශ තුල පවුල් ලක්ෂ 60ක් පමණ සිටින බවත් මොවුන්ගේ ආදායම් තලයන් පවා වෙනස් බවත් මේ පවුල්වල ආදායම් හා වියදම් ගණනය කර දුප්පත්කම නිර්වචනය කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් ගොඩනැගිය යුතු බවත් මෙය රජයන් ගණනාවක සිදුවූ බරපතල වරදක් බවත් එය නිර්වචනය කිරීමට පවා විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පශ්චාත් අරගල යුගයේ නිලධාරීන් හා සමෘද්ධි ගැන විවේචන පවතින නමුත් මෙම නිලධාරීන් සම්බන්ධයෙන් සෘණාත්මක අදහස් නොගෙන මොවුන් උපයෝගී කර ගෙන ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට හොඳ අගයක් එකතු කර රටේ ප්‍රගතියේ කොටස් කරුවන් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *