27 April 2024
#සංවර්ධන

කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවලත් බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමේ සූදානමක් – ඇමති ප්‍රසන්න

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගිය 23 වනදා ආරම්භ කරනු ලැබීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සහ ජෙන්සෝ පවර් ටෙක්නොලජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඒකාබද්ධව මෙම පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාව ආරම්භ කර ඇත.

එමෙන්ම ඉදිරියේදි කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවවන් ආරම්භ කිරීමට බළාපොරොත්තු වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය. එසේම මෙය දෙස් විදෙස් සංචාරක ආකර්ශනයයට හේතුවක් වන බවද හෙතෙම සඳහන් කළේය.

සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමෙන් වර්තමානයේ රට මුහුණ දෙන ඉන්ධන ගැටළුවට මෙන්ම විදුලි අර්බුදයටත් විසදුමක් ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට⁣ මෙම බෝට්ටු මගින් විනාඩි 30ක් ඇතුළත ලඟාවීමට හැකියාව ඇත.

එමෙන්ම බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගේ රුපියල් 200ක මුදලක් අයකෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරේ.

දිනපතා කාර්යාලය වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 8 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයේ.

එමෙන්ම බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පුද්ගලික කාර්යාල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, නාවල විවෘත විශ්ව විද්‍යාලය,176, බස් මාර්ගය,138 සහ 122 බස් මාර්ග,වැල්ලවත්ත දුම්රිය ස්ථානයට මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟාවීමට හැකියාව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික කොමසාරිස් ශානිකා රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *