27 April 2024
#දේශීය

එක්වරක් භාවිතා කරන ප්ලාස්ටික්, පොලිතින් තහනම් කිරීමේ සුදානමක් – පරිසර ඇමැති

වරක් පාවිච්චි කරන ඉවත ලන ප්ලාස්ටික් හා පොලීතීන් තහනම් කිරීම සඳහා වන ගැසට් පත්‍රය වැඩි දුර උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

2021 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත වරක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගනු ලබන පියවරක් වශයෙන් ඒවා තහනම් කිරීම සිදු කරනු ඇත.

ඒ අනුව පළමු පියවර වශයෙන් වරක් භාවිතා කර ඉවත ලන සැෂේ, කොට්න් බඩ්, ලන්ච්ෂීට් වැනි පොලීතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග හයක් තහනම් කිරීමට යෝජිතය.

මේ සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් 2021 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒවා තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් තමන් ඉදිරිපත් කළ බවත්, අමාත්‍ය මණ්ඩලය විසින් මේ සඳහා කිසියම් සහන කාලයක් අදාල නිෂ්පාදකයින් සම්බන්ධව සිතා බලා හා ඔවුන්ට විකල්ප නිෂ්පාදන සඳහා යොමුවීමට කාලයක් ලබා දෙන ලෙස යෝජනා කරනු ලැබ ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙම වරක් භාවිතා කර ඉවත් කරන පොලිතීන් හා ප්ලාස්ටික් තහනම් කිරීමේ ගැසට් පත්‍රය ජනවාරි මාසයේ දි නිකුත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසිය.

මේ අතර මාධ්‍යවේදීන් විසින් දේශපාලනඥයින්ට වැලි කලුගල් හා පස් බලපත් නිකුත් නොකිරීමට පරිසර අමාත්‍යාංශය විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ මහජන ඡන්දයෙන් තේරී පත්වී මැති සභයට හෝ පළාත් සභා, ප්‍රාදේශීය සභාවලට පත් ව එන දේශපාලකයින්ට ඒ සඳහා ඉල්ලුම් කිරීමට හෝ ඒවා ලබා ගැනීමට සදාචාරාත්මක අයිතියක් නැති බවයි. නමුත් තවදුරටත් ඔවුන් එසේ කටයුතු කරන්නේ නම් එසේ වැලි කළුගල් හා පස් කැපීමට බලපත් ලබා ගෙන ඇති හා ඉල්ලුම් කරන දේශපාලනඥයින්ගේ නම් ලැයිස්තු මාධ්‍ය වෙත තමන් නිකුත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *