ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදු කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (20) මඩකළපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවැති, විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” මඩකළපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි. රටේ ඉදිරි ගමන සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා, දැනටමත් අදියර තුනකින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම් සිදු කර ඇති බව ද මෙහිදී මතක් කර දුන්නේය.
පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ දිසාපතිවරයාගේ සිට පහළටම ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඒ වෙනුවෙන් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු කඩිනමින් පුරවමින් අදාළ බඳවා ගැනීම් ද සිදු කරමින් පවතින බව වැඩිදුරටත් සඳහන් කළේය.














