කැළණි ගඟේ ගංවතුර පාලනය කිරීම, කොළඹ නගරයේ ජල කළමනාකරණය, බේරේ වැව ප්‍රතිසංස්කරණය සහ රත්මලාන හා මොරටුව ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් විශේෂ නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අවධාරණය කෙරිණි.නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ඇතැම් ව්‍යාපෘතිවල තිරසාරභාවය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා විශේෂ කළමනාකරණ ආකෘතියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවයයි. නව ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන පවතින මුදල් වර්ෂය තුළම උපරිම ලෙස ප්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සහ ඒවායේ දිගුකාලීන නඩත්තු කටයුතුවලදී අදාළ ආයතන සමඟ සාකච්ඡා කර පැහැදිලි වගකීම් බෙදා දීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.මෙම සාකච්ඡාව සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු රජයේ ප්‍රධාන ආයතන රැසක ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. විශේෂයෙන් කොළඹ තදාසන්න ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන නිවාස වැඩසටහන් කඩිනම් කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.














