27 April 2024
#දේශීය

ජනපති ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළඟා වෙයි

COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළගා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එරට වේලාවෙන් අද (30) ප.ව 12.40ට ග්ලාස්ගොව් අන්තර් ජාතික ගුවන් තොටුපොළට ළඟාවූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින් පිළිගනු ලැබිණි.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ. නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වෙති. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටිති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *