27 April 2024
#දේශීය

ජනපති ගෝඨාභයට පත් කර ගත්තේ නැවුම් යුගයක් බිහි කරන්නයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

රට යම්කිසි ආකාරයකින් ආපස්සට ගිය අවධියක නැවුම් යුගයක් බිහිකිරීම සදහාත් දේශීය ආර්ථික නගා සිටුවීම සදහාත් රටේ ජනතාව ගෝඨභාය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ 2021 වර්ෂයේ මධ්‍යම පළාත් සභා ප්‍රාග්ධන ආයෝජන තුළින් නිම කරන ලද තෝරාගත් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලබා දීමේ උත්සවය මහනුවර, පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වු අවස්ථාවේදිය.

මෙම වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාතේ කලායතන 20 ක් සදහා සංකේතාත්මක ලෙස උපකරණ ප්‍රදානය කිරීමක් , කලාප අධ්‍යාපන කාර්යාල සදහා අ.පො.ස (සා/පෙළ) ප්‍රශ්නෝත්තර පොත් ප්‍රදානයක්, ලෝක බැංකු ආධාර යටතේ කලාප අධ්‍යාපන කාර්යාල සදහා අවශ්‍ය උපකරණ ලබාගැනීම සදහා වන ලිපි ප්‍රදානය, සංඛ්‍යාන අත් පොත් ප්‍රදානය, මහනුවර හුරීකඩුව වෘත්තීය පුහුණු ආයතනයේ 2021/22 වර්ෂ සදහා බදවාගත් බාහිර උපදෙස්ශකවරුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය, වෘත්තිය පුහුණු පාඨමාලා නිමකළ සිසු සිසුවියන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම යන අංගයන් ද මෙම වැඩසටහනට ඇතුලත් කර තිබු අතර, පළාත් විගණන දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කරන ලද කලාප අධ්‍යාපන කාර්යාල ඇගයීමේ 2020 සම්මාන හා සහතික පත් ප්‍රදානය ද මෙහිදී සිදුවිය. එහිදි ප්‍රථම ස්ථානය මාතලේ අධ්‍යාපන කාර්යාලයටත්, දෙවන ස්ථානය හගුරන්කෙත අධ්‍යාපන කාර්යාලයටත්, තෙවන ස්ථානය ගලේවෙල අධ්‍යාපන කාර්යාලයටත් හිමි විය.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ,රට යම්කිසි ආකාරයකින් ආපස්සට ගිය අවධියක නැවුම් යුගයක් බිහිකිරීම සදහාත් දේශීය ආර්ථික නගා සිටුවීම සදහාත් රටේ ජනතාව ගෝඨභාය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගත් බවයි. උගතුන්, කලාකරුවන්, විද්‍යාඥයින්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ඇතුලු සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් විධිමත් සැලැසුමකට අනුව “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති මාලාව සකසමින් ඒ ඔස්සේ දේශය සදහා නව පිබිදීමක් ඇති කිරීම සදහා ‍අතිගරු ජනාධිපතිතුමා කටයුතු කරමින් පවතින බවත්, සියලු දෙනා එම ප්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙන් දැනුවත් ව කටයුතු කිරීම වැදගත් බවත්, කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද රට සංවර්ධනය කිරීමේ අභියෝගය ජය ගැනීම සදහා රජය ගෙන යන වැඩ පිළිවෙල සදහා සියලු දෙනා සහයෝගය ලබාදිය යුතු බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම වැඩසටහන් සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක,මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බි රත්නායක, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඩබ්.දයානන්ද, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, පළාත් විගණන අධ්‍යක්ෂ අබ්දුල් කාදර්, මධ්‍යම පළාත් සැලසුම් අධ්‍යක්ෂ කේ.ජී.එස් නිශ්ශංක , පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ (වැ.බ) මිහිරාන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය

Leave a comment

Your email address will not be published. Required fields are marked *