27 April 2024
#දේශීය

Galle Techno Park ඉදිකිරීම් ජනපති නිරීක්ෂණයට

ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ ඉදිකෙරෙන “Galle Techno Park” (තාක්ෂණ උද්‍යානය) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරේ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (Cultural Technological Innovation) ගොඩනැගීම අරමුණු කරගනිමින් දිවයින පුරා “තාක්ෂණ උද්‍යාන” පහක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය, දියුණු තාක්ෂණයෙන් යුත් නව සමාගම් දිරිමත් කිරීම, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය, නව රැකියා අවස්ථා ඇති කිරීම, දැනුම බෙදාහැරීම, අදාළ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ විදේශ විනිමය ඉපැයීමෙන් ජාතික ආර්ථික සංවර්ධනයට දායක වීම මෙමගින් අපේක්ෂා කෙරේ.

ගාල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම තාක්ෂණ උද්‍යාන ඉදි කිරීමට නියමිතය.

ගාල්ල, වලහන්දූව තාක්ෂණ උද්‍යාන භූමියට අද (17) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා ව්‍යාපෘති පුවරුව විවෘත කර වැඩ භූමිය නිරීක්ෂණය කළේය. ගාල්ල තාක්ෂණ උද්‍යානයේ නිල ලාංඡනය එළි දැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

අක්කර 30ක පමණ වපසරියක විහිදෙන තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම් 2023 වසර මැද වන විට නිම කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

5G සන්නිවේදනය සහිත නවීන තාක්ෂණික පහසුකම්, නැනෝ පර්යේෂණ ආයතන, විනෝදාස්වාද ක්‍රියාකාරකම්, තෝරාගත් ස්ථානවල ස්වභාවික පරිසරය හා මුසු වූ ක්‍රීඩා මෙන්ම මානසික හා ශාරීරික විවේක මධ්‍යස්ථානවලින් “තාක්ෂණ උද්‍යානය” සමන්විත වේ.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, කංචන විජේසේකර, ජානක වක්කුඹුර යන මහත්වරු, දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *