27 April 2024
#දේශීය

මිහින්තලා පුදබිමේ අලෝක පුජාව ජනපති සුරතින් ඒකාලෝක වෙයි

පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස් ආයතනය) සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වයෙන් 58 වැනි වරට පිංකම සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (05) සිදු විය.

ලොවම ගිලගත් වසංගතයකින් මව්බිම බේරා ගැනීමට හැකිවූවා සේම ශ්‍රී ලාංකේය නිෂ්පාදන රැසක් ඉතා කෙටි කාලයකදී රටට දායාද කිරීමට ජනාධිපතිවරයාගේ නායකත්වයට හැකි වූ බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පිළිගැනීමේ අනුශාසනාව කරමින් සඳහන් කළහ.

මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි විශේෂ අනුශාසනාවක් කරමින් ධීර,වීර, සූර, සාර ගුණ සමුදායකින් යුත් පාලකයෙකුට සියලු අභියෝග ජය ගනිමින් ජනතාවට සුවිශාල සේවාවක් ඉටු කළ හැකි බව පැවසූහ.

රාජ්‍ය නායකයා ආගමට, දහමට අවනතව ධර්මානුකූලව කටයුතු කරන හෙයින් අතීතයේ තිබූ සශ්‍රිකත්වය වර්තමානයේ ද ළගා කරගත හැකි බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ඇත්කඳ රාජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කියා සිටියහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති, අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ගංතුනේ අස්සජි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය මාතලේ ධම්මකුසල නා හිමිවරු ද විශේෂ අනුශාසනා කළහ.
මහා සංඝරත්නයේ සෙත් පිරි සජ්ජායනා මැද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් මිහින්තලා පුදාබිම ඒකාලෝක කෙරිණි.

එස්.එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරු, ආණ්ඩුකාර මහීපාල හේරත්, දුමින්ද දිසානායක, තිස්ස කරලියද්ද, ෂෙහාන් සේමසිංහ හිටපු අමාත්‍යවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *