27 April 2024
#සංවර්ධන

මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය අගමැති සුරතින් විවෘත වෙයි

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (08) විවෘත කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය – තම්බපවනී ජනතා අයිතියට පත් කරමින් සුළං කුලුනු ක්‍රියාත්මක කරවූයේය.

මන්නාරම සිට නඩුකුඩා දක්වා කිලෝමීටර් 30ක් අධි බලැති විදුලියෙන් සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතියකින් සමන්විත මෙම විදුලි බලාගාරය තුළින් නඩුකුඩා සිට අනුරාධපුරය දක්වා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කිරීමට නියමිතව ඇත.

මන්නාරම වෙරළ තීරයේ කිලෝ මීටර් 13 දුරට, හෙක්ටර්යාර් 150 ක භූමියක මෙම බලාගාරය ස්ථාපිත කර තිබේ. වසරකට විදුලි ඒකක මිලියන 400 ක් නිෂ්පාදනය කිරීමට ද මේ මඟින් අපේක්ෂිතය.

පවුල් දෙලක්ෂයකට වැඩි පිරිසකට විදුලිය සැපයෙන මෙම තම්බපවනී සුළං විදුලි බලාගාරය මෙතක් ඉදිවූ විශාලතම පුනර්ජනනීය විදුලි බලාගාරය වේ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆාදර් මස්තාන්, යදාමිණී ගුණවර්ධන හා උතුරු පළාත් ආණ්ඩුකාරිනි පී. එස්. එම්. චාර්ල්ස්, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහත්ම මහත්මීන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *