රටේ අතිශය සංවේදී සහ වැදගත් ආරක්ෂක ආයතනයක් වන බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට කිසිදු ස්ථිර නායකත්වයක් නොමැතිව “තාවකාලික නායකත්වයක්” යටතේ අකර්මන්‍ය වෙමින් පවතින බව දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දෙයි. “බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ තාමත් ඉන්නේ තාවකාලික නායකත්වයක්” යැයි පවසන ඔවුහු, මේ හේතුවෙන් ආයතනය තුළ බරපතල පරිපාලන අක්‍රමිකතා රැසක් නිර්මාණය වී ඇති බව ද අනාවරණය කරති.
විශේෂයෙන්ම, හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනී මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔහු එම චෝදනාවලින් සම්පූර්ණයෙන්ම නිවැරදිකරු බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. එසේ තිබියදීත්, වත්මන් බලධාරීන් විසින් ඔහුට මෙතෙක් නිසි පරිදි නැවත සේවය ලබා දීමට හෝ ස්ථිර කිරීම් සිදු කිරීමට කටයුතු කර නොමැති බවට බරපතල චෝදනා එල්ල වේ.
නිවැරදිකරු වූ නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමට රජය දක්වන මෙම උදාසීනත්වය සහ පමාව හේතුවෙන් සමස්ත බන්ධනාගාර පරිපාලනයම අර්බුදයකට ලක්ව ඇති බැවින්, පවතින නායකත්ව අර්බුදය වහාම අවසන් කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා කඩිනමින් ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස සිවිල් සංවිධාන රජයෙන් දැඩිව ඉල්ලා සිටියි.
















