අනුරාධපුර තිසාවැව පාලමට දකුණු පසින් පිහිටි අනාරක්ෂිත ස්ථානයක දිය නාමින් සිටියදී දියේ ගිලෙමින් සිටි 27 හැවිරිදි තරුණයෙකුගේ ජීවිතය බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ඊයේ (අප්‍රේල් 18) සමත් විය. මෙම අනතුර ඊයේ දහවල් 1.50 ට පමණ සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි.
බණ්ඩාරවෙල, අලුත්ගම ප්‍රදේශයේ පදිංචි උදාර ලක්ෂිත නැමැති මෙම තරුණයා තිසාවැවේ දිය නෑමට ගිය අවස්ථාවේදී හදිසියේම දියේ ගිලී ඇති අතර, ඒ අවස්ථාවේ තිසාවැව ජීවිතාරක්ෂක මුරපොළේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔහුව ගොඩට ගෙන තිබේ. ගොඩට ගන්නා අවස්ථාවේ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තරුණයාට පොලිස් නිලධාරීන් විසින් කෘතිම ශ්වසනය සහ පපුව තෙරපීම (CPR) වැනි මූලික ප්‍රථමාධාර ලබා දී ඔහුගේ පණ රැක ගැනීමට කටයුතු කර ඇත.
අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් එම තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ. මෙම ජීවිතාරක්ෂක මෙහෙයුම සඳහා පොලිස් සැරයන්වරුන් වන පී.ජී. හේමසිරි (64782), ඩී.එල්.පී. දහනායක (35475), එම්.පී.පී. කුමාරසිංහ (60563) සහ ආර්.එම්.එන්. සෙනෙවිරත්න (75243) යන නිලධාරීන් සක්‍රීයව දායක වී ඇත. උත්සව සමයේ වැව් සහ ජලාශවල දිය නෑමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත්, අනාරක්ෂිත ස්ථානවලින් ජලයට බැසීමෙන් වළකින ලෙසත් පොලිසිය ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටියි.














