ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස කළ ඉල්ලීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අද (05) දිනයේ උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවත්, ඊයේ දිනයේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව ද ඵලක් නොවූ බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ඩීසල් මිල ඉහළ යාම හමුවේ බස් කර්මාන්තය තවදුරටත් පාඩු ලබමින් පවත්වාගෙන යාම අසීරු බව පෙන්වා දෙන බස් සංගම්, රජය ගාස්තු සංශෝධනයක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බව ද අවධාරණය කරයි.
මේ වන විටත් පෞද්ගලික බස් රථ සියයට 25ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බවත්, ගාස්තු සංශෝධනයක් නොලැබුණහොත් ඉදිරියේදී ධාවනයෙන් ඉවත්වන බස් රථ ප්‍රමාණය සියයට 50 දක්වා ඉහළ යා හැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















