ගිනිගත්හේන, දාගම්පිටිය ප්‍රදේශයේ කෙසෙල්ගමු ඔය හරස් කරමින් ඉදි කර ඇති පෞද්ගලික ජල විදුලි බලාගාරයක හැරවුම් බැම්ම හේතුවෙන් තම ගම්මානය බරපතළ නායයෑමේ සහ පාලම් කඩා වැටීමේ අවදානමකට මුහුණපා ඇති බවට ප්‍රදේශවාසීන් දැඩි චෝදනා නඟති. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොන්දේසි උල්ලංඝනය කරමින් සහ පාරිසරික නිර්ණායක නොසලකා හරිමින් අදාළ සමාගම විසින් ජලය සූරාකෑම නිසා ඔයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇති අතර, මෑතකදී ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් සමඟ ප්‍රදේශයේ යටිතල පහසුකම් ද බරපතළ ලෙස කඩා වැටී තිබේ.
ගම්මානයට පිවිසෙන එකම කොන්ක්‍රීට් පාලමේ ආරක්ෂිත අත්වැටවල් හා ඉවුරු ඛාදනය වී යාමෙන් මගී ජනතාවගේ ජීවිත දැඩි අනතුරකට ලක්ව ඇතත්, අදාළ පෞද්ගලික සමාගම එම හානි පිළිසකර කිරීමට හෝ මීට පෙර ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට මෙතෙක් කටයුතු කර නොමැත. මීට අමතරව, බලාගාරයේ විදුලිබල රැහැන් රැගෙන යන අධි බලැති විදුලි කණුවක්ද කැඩී ගොස් තාවකාලික ආධාරක මත රඳා පවතින පසුබිමක, එම රැහැන් පද්ධතිය හරහා විදුලිය මුදා හැරීම හේතුවෙන් සමස්ත ජනපදයේම වාසය කරන ජනතාවගේ ජීවිත දෛනිකව බරපතළ අවදානමකට ලක්ව තිබේ.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රටට අවශ්‍ය වුවද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සහ පරිසර පද්ධතියේ පැවැත්ම තහවුරු කිරීම ආයතනික හා නීතිමය වගකීමකි. අදාළ බලධාරීන් සහ වාරිමාර්ග අංශ මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වී නිසි පරීක්ෂණයක් පවත්වමින් ජනතාව මුහුණපා ඇති මෙම ජීවිත අවදානම ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගছ්හොත්, ප්‍රදේශවාසීන්ගේ විරෝධතා තවදුරටත් උග්‍ර වීමේ දැඩි ඉඩකඩක් පවතී.














