27 April 2024
#සංවර්ධන

මීගමු කලපු සංවර්ධනයට මතු වී ඇති ගැටලු කඩිනමින් විසදනවා – ධීවර අමාත්‍ය

මීගමු කලපුවේ සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් අවසන් කළ යුතු බවත් ඒ සදහා බාධා පවතින ගැටළු විසදා ගැනීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මීගමු කලපු සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදි මතුවී ඇති ගැටලු පිළිබදව සාකච්ඡා කිරීම සදහා විශේෂ හමුවක් ධීවර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදි ඊයේ (14) දින පැවැති අවස්ථාවේදිය. එම සාකච්ඡාවට වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ද සහභාගි විය.

මෙහිදි ධීවර සංගම් කිහිපයක් හා මීගමුව කලපුව ආශ්‍රිතව ජීවත්වන ජනතාව කලපුව අයත් කඩොලාන වගා නොකරපු ප්‍රදේශයක් ක්‍රිඩා පිටියක් ලෙස තබා ගැනීමට ඉල්ලීම් කිරීමක් හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යාමට බාධා පැමිණ ඇත.

විශේෂයෙන් සාගරයට ඉතා සංවේදි පරිසර කලාපයක් ලෙස සැලකෙන මීගමු කලපු ආශ්‍රිත කඩොලාන පරිසරයට හානි කරන බවට පසුගිය කාලය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක් වීමත් සමග කලපු සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු අඩාලවෙමින් තිබු අතර කලපු ආශ්‍රිත ජනතාව තම දරුවන්ගේ ශරීර යෝග්‍යතාවය සදහා ක්‍රිඩා කිරීමට අවශ්‍ය ක්‍රිඩා පිටියක් ලබා දෙන ලෙස කරන ඉල්ලීම මත මෙම ගැටලුව තව තවත් උග්‍ර විය.

මෙහිදි ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජීනේරුවරයා අදහස් දක්වමින් පවසා සිටියේ දැනට මීගමු කලපුව ලෙස ගැසට් කර ඇති ප්‍රදේශවල කඩෝලාන පරිසර පද්ධතිය විහිදි ඇති බැවින් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිදු කටයුත්තකට භාවිතා කළ නොහැකි බවයි.

මෙහිදි අදහස් දැක්වු වන සංරක්ෂණ හා වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසා සිටියේ කඩොලාන පරිසරයක් විනාශකිරීම තුළ සාගර කලාපයට දැඩි හානියක් වන බවත්, මීගමු කලපු ආශ්‍රිතව කඩොලාන කලාපය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින බැවින් එම පරිසර පද්ධතිය වෙනත් කටයුතුවලට යෙදවීමට නොහැකි බවත්, ඉන් පරිභාහිරව යම් ඉඩකඩක් තිබේනම් එය ලබාදිම කෙරෙහි අවධානය යොමුකල හැකි බවත්ය.

මෙහිදි අදහස් දැක්වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේ මීගමු කලපුවේ සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් අවසන් කළ යුතු බවත් ඒ සදහා බාදා පවතින මෙම ගැටලුව සම්බන්ධව අදාල පාර්ෂව සියල්ලක්ම එකතුව ස්ථානීය පරික්ෂණයක් සිදුකර විසදා ගැනීමට කටයුතු කරන බවත් ඒ හරහා ව්‍යාපෘතියේ කටයුතු කරගෙනයාමට සහයෝගය ලබා දෙන බවය.ඒ සදහා හැකි ඉක්මණින් දිනයක් ලබාදෙන බව ද තව දුරටත් අමාත්‍යවරයා පැවසීය.

මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, මීගමුව නගරාධිපති ලන්සා මහතා, ධීවර, අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත,වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්,ගම්පහ පොලිස් අධිකාරි,මීගමුව ප්‍රාදේශිය ලේකම් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *